Wednesday, March 18, 2015

හික්කඩුවේ මුදු වෙරළේ - Fascinating Hikkaduwa Beach....


ලංකාවේ හතරදිග් බාගයේම ඇති සුන්දර ස්ථාන ගැන ලිපි ගණනාවක් ලියූ මම, මා උපන් හික්කඩුවේ රන් වෙරළත් එහි සොබා සුන්දරත්වයත් ගැන මෙතෙක් කිසිවක් නොලීවේ මන්දැයි මටම ගැටලුවකි. සමහර විට නිතර දකින කුකුළාගේ කරමලය සුදු නිසා වන්නට පුළුවන. 
හික්කඩුව මුහුදු තීරයේ පිහිටි සුවිශේෂ කොරල් පද්ධතියත්, ඒ ආශ්‍රිතව වාර්තා වන දුර්ලභ ජීව ‍විශේෂ සංඛ්‍යාව හේතුවෙනුත් 1979 වර්ෂයේ මෙම ප්‍රදේශය සාමුද්‍රික අභය භූමියක් ලෙස නම් කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ නම් කෙරුණු ප්‍රථම සාමුද්‍රික අභය භූමියයි. ඉන් අනතුරුව 2002 වර්ෂයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙය ජාතික උද්‍යානයක් ලෙස නම් කරන ලද්දේ ලංකාවේ දෙවන සාගරික ජාතික උද්‍යානය‍ වශයෙනි.

මුදු රළ සහිත වෙරළ
එදා පටන්ම හික්කඩුව ප්‍රකට එහි අනගිභවනීය කොරල් පද්ධතිය නිසාය. කොරල් වර්ධනයට ඉතා හිතකර නොගැඹුරු, රළ අඩු, ප්‍රශස්ත උෂ්ණත්වයක් සහිත මුහුදු තීරයක් පිහිටා තිබීමත් කොරල් බුහුබාවන්ට අවශ්‍ය ආහාර නොඅඩුව තිබීමත් නිසා (කොරල් පර නිර්මාණය වන්නේ කොරල් බුහුබාවා (Polyp) නම් ජීවියාගේ විශාල එකතුවකිනි. උන්ගේ කැල්සියම් කාබනේට් වලින් නිර්මිත බාහිර කවචය මගින් කොරල් පර නිර්මාණය වේ. මෙය වසර දහස් ගණනක ක්‍රියාවලියක ප්‍රතිඵලයකි) හික්කඩුව අවට මුහුදු තීරයේ අපූරු කොරල් පද්ධතියක් බිහිව තිබුණි.
කොරල්...

1997-98 වර්ෂ වල බලපෑ එල්-නිනෝ සංසිද්ධියත්, 2004 සුනාමි ව්‍යසනයත්, තවත් බොහෝ මිනිස් ක්‍රියාකාරකම් නිසාත් දැන් හික්කඩුවේ කොරල් පර වෙනදා තරම් සුන්දර නැත. තිබෙන ඒවා මියගොස් තිබෙන නිසා සුදු පැහැයට හැරී ඇත. නමුත් අදටත් හික්කඩුවේ ජීවනාලිය මේ සුන්දර වෙරළ තීරයයි.
එහි උණුසුම් සුව විඳින්නට ලෝකයේ හතරදිග් බාගයෙන්ම සංචාරකයෝ ඇදී එති. මේ දින වල පැමි‍ණෙන සංචාරකයන්ගේ ප්‍රධානතම ආකර්ෂණයක් වන්නේ හික්කඩුව 'ඡායා ට්‍රාන්ස්' හෝටලය පිටුපස වෙරළට ඇදී එන කැස්බෑවුන්ය. මුලදී දක්නට හිටියේ විශාල වැඩිහිටි කැස්බෑවුන් දෙදෙනෙක් පමණක් වුවත් දැන් පැටවුන්ද සමග එතැන කැස්බෑවුන් පස්දෙනෙකු දක්නට ඇත. 
කැස්බෑවුන් වට කර....
උන් එතන රැඳී සිටින්නේ සංචාරකයන් අතින් දෙන මුහුදු පැළෑටි කන්නටය. මුහුදු පැළෑටි ගලවා ෂොපිං බෑග් වලට දමා කැස්බෑවුන්ට කවන්නට විකුණන උදවියද දැන් ඒ අවට දක්නට ලැබේ. 

කැස්බෑවා සමග විනෝද වන විදේශීය දරුවන්..

කැස්බෑවුන්...

මුහුදු පැළෑටි කවමින්...

මුදු වෙරළේ සුන්දරත්වය විඳින විදෙස් නෙත්..

තවමත් සජීවි වෙරළ...

කකුළුවා...
කවචධාරීන්..

කවචධාරීන්...

රතු, දුඹුරු ඇල්ගී හා තවත් මුහුදු පැළෑටි
සංචාරක ව්‍යාපාරය මෙහි ආර්ථිකයට පණ පොවන මූලික සංරචකය වුවත් ඒ හා බැඳුණු සමාජ සංස්කෘතික ගැටළු වලින්ද හික්කඩුවට අඩුවක් නැත. මත් ද්‍රව්‍ය, ගණිකා ව්‍යාපාරය වැනි සමාජ පිළිල (Social Stigma) අද‍ටත් හික්කඩුවට වද දෙන ගැටළුය.
කෙසේ නමුත් වාර්ෂිකව හික්කඩුව වෙරළේ සංවිධානය වන 'හික්කා' ප්‍රසංගය වරක් ආන්දෝලනයකට තුඩු දුන්නේය. කුප්‍රකට 'දිවයින' පුවත්පතෙහි 'ජඩ මාධ්‍යවේදියෙක්' ඩුබායි හි පැවති වෙරළ සාදයක නිරුවත් ඡායාරූප හික්කා 2009 සැණකෙළියේ ඡායාරූප බව දක්වමින් ලියූ පුවත් පත් වාර්තාවක් නිසා අපටද රෙද්දක් ඇඳ ගෙන කාර්යාලයට යන්නට බැරි තත්ත්වයක් උදා විය. වාසනාවකට පසුව සත්‍යය හෙළිදරව් වුණේය.
හික්කඩුවේ සොබා සුන්දරත්වය තව වැඩි කලක් මේ විදියටවත් පවතින එකක් නැත. දැනටත් හික්කඩුව වෙරළේ දියනෑම කටුක අත්දැකීමකි. ඒ මුුහුදු ජලයෙන් හමන අධික ඉන්ධන ගන්ධය නිසාය. වෙරළ තීරය ආසන්නයේම ධාවනය වන වීදුරු පතුල් බෝට්ටුවලින් නික්මෙන ඉන්ධන ඊට හේතුවය. ඊට අමතරව අසංවර සංචාරකයන්, ඇතැම් හෝටල් හිමියන් බැහැර ලන අපද්‍රව්‍යද වෙරළට වින කටියි.
වෙනදා වගේ 'සුද්දන්' ද දැන් හික්කඩුවට එන්නේ අඩුවෙනි. බහුතරයක් එන්නේ ආතක් පාතක් නැති හිඟන සංචාරකයන්ය. හික්කඩුව නගරය ආසන්නයේම දූවිලි වැකුණු කුණු කාණුවක් අසබඩ කුඩා දරුවෙක් හිඳුවා පත්තර කොළයක එතූ ආප්ප ඔහුට කවමින් තමන් ද කන සංචාරක යුවළක් දෑසින් දුටුවෙමි. හික්කඩුව පොළ සංචාරකයන්ගෙන් පිරී පවතී. වෙනදාට ඔවුන් එන්නේ පොළේ රවුමක් ඇවිද ඡායාරූපයක් දෙකක් අරං යන්නටය. දැන් නම් එන්නේ තක්කාලි දෙසිය පනහක්, ගෝවා ගෙඩියක් අර ගෙන ගොස් නවාතැන් ගෙන සිටින තැනක උයාගෙන කන්නටය. ඔවුන් අවන්හල් වලින් ආහාර නොගන්නා තරම්ය.  මාළු වෙළඳසැලේ අඩුවට මාළු ඉල්ලා බහින්බස් වුණු 'සුද්දෙක්' හට කරුණු පැහැදිලි කර දෙන්නට මටද මැදිහත් වන්නට සිද්දවිය. වෙළෙන්දා ඔහුටත් මටත් දෙදෙනාටම මාළු දුන්නේ එකම මිළට බව මා කියන තෙක් ඔහු වෙළෙන්දාට බැණ වැදුණේය. මේවා අපේ උන්ගෙත් වැරදිය. බොහෝ උන් සුද්දෙක් දැක්කොත් උත්සාහ කරන්නේ උගේ රීරි මාංස හූරා ගෙන කන්නටය. මේවා ගැන අත්දැකීම් ඇති සුද්දෝ දැන් නියම ගණන කිව්වද පිළිගන්න‍ේ නැත. 
මේ මොන ගැටළු මැද වුවත් හික්කඩුව වෙරළ වයසට ගියත් තවම රූ සිරියෙන් බබළන පරණ නිළියක් මෙන් සුන්දරත්වය යම්තාක් දුරට රැක‍ගෙන සිටී. ඒ නිසාම සංචාරකයන් තාමත් ඇයට ආදරේය.

14 comments:

  1. වෙනද ලියනවට වඩා වෙනස් විදිහක ලිපියක් කිව්වත් හරි. කොහොම නමුත් මේ දේවල් මෙහෙම හරි රැකිලා තියෙන්නේ තවමත් පරිසරයට සොබාදහමට ආදරේ කරන ඒවාගේ වටිනාකම දන්න මිනිස්සු ඉන්න නිසා. මේ ඔස්සේ තව කියන්න ගියොත් කියන්න දේවල් ගොඩයි නමුත් එහෙම උනොත් එක වෙනම බ්ලොග් පොස්ට් එකක් ප්‍රමාණයට ඒවි.

    ReplyDelete
    Replies
    1. වෙනද ලියන ස්ටයිල් එකට වඩා වෙනස් වුණා කියල තේරුණා. හිතාමතා කල වෙනසක් නෙවෙයි. වෙරළින් යැපෙන මිනිස්සු තුළ පවා වෙරළ රැක ගත යුතු යැයි හැගීමක් නොමැති වීම කණගාටුවට කරුණක්.

      Delete
  2. මේ වෙරළෙ අර ඉකිරියා කියන වර්ගය නැද්ද..කටු පදුරක් වගේ ගල් වල ඇලිලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඉකිරියෙක් දැකපු කාලයක් මතක නෑ දැන්නං

      Delete
    2. ඉකිරි ඉන්නවා තවමත්....මේ ලඟදි මම දැක්කා........

      Delete
    3. ඉකිරි ඉස්සර තරම් දැං නෑ. ඉස්සර අපි ගලකට අඩිය තියන්නෙ ඉකිරි ඉන්නවද කියල විපරම් කරල බලල. මොකද ඉකිරි කටුවක් ඇනුනම හරි සනීපයි.

      Delete
  3. මට මේ පෝස්ට් එක මගඇරිලා

    යන්තම් එල්නිනෝ එන්න කළින් ගිහින් ගල්මල් බලපු නිසා හොඳයි. ඊට පස්සේ වතාවක ගල්මල් බලන්න ගල්මල් වලට වෙලා තිබ්බ විනාශය දැක්කම පුදුම කණගාටුවක් දැනුනේ...
    මම මුහුදට ගොඩක් කැමති නැහැ... 1999 න් පස්සේ මුහුදේ නාල නැහැ...
    මට ලොකු අසාවක් තියෙනවා මුහුදේ මාළු බාන්න...

    ReplyDelete
    Replies
    1. එල්නිනෝ එකට කලින් මාත් ගල්මල් බලලා තියෙනවා. ඒත් ඒ ගැන ඒතරම් මතකයක් නෑ. එතකොට මං පොඩියි. මම නම් මූදට මාර ආසයි. ඒ වගෙම බයයි. මොකද මං හොදහැටි සුනාමියෙන් බැට කාපු නිසා

      Delete
  4. අනූ පහෙ අනූ හයේ ගල් මල බලත්දි මාර ලස්සනයි, සම්පකාරෙ පහල වැල්ලට බැහැල පරේ ගාවට යනකල් වෙනම ලෝකයක්. ඒත් සුනාමියෙනුත් පස්සෙ තීන්නෙ හිරිගල් විතරයි. අපරාදෙ. අනෙක් දෙ හික්කඩුවෙ සුද්දෙක්ට ඉන්න හොඳ හෝටල් නෑ. තීන්නෙ ලඩ බැග්පැක්. අනෙක් පැත්තෙන් වාහනයක් නවතන්න තැන් නෑ. කොටිම්ම ඒක සංචාරක පුරේ බෝඩ් එකට විතරයි

    ReplyDelete
    Replies
    1. අම්මප ඉන්දික අයියෙ හික්කඩුවෙ ටවුන් එකේ වාහනයක් නවත්තන්න තැනක් නම් ඇත්තෙම නෑ. අනිත් එක ගාල්ල මාතර කතරගම බස් මහ හයියෙන් හෝන් ගහගෙන පාර ඉරාගෙන යද්දි හෝටල්වල ඉන්න සුද්දො හැංගෙනවා

      Delete
  5. හික්කඩුවේ මිනිස්සුන්ගේ ඔලු හැදුවොත් මේ ගොඩක් ප්‍රහ්න වලට තව ගොඩාක් හොඳ විසඳුම් හොයා ගන්න පුළුවන්..... එත් මම මෙහෙම දෙයක් දකිනවා.....ලංකාවේ අනිත් තැන් වලට වඩා සංචාරකයින්ට නිදහස ගොඩක් හම්බෙන්නේ හික්කඩුවේදී.....මොකද අවුරුදු බර ගානක ඉඳන් හික්කඩුව සංචාරක කලාපයක් නිසා හික්කඩුවේ සාමාන්‍ය ජනයා ඊට ගොඩක් හුරු වෙලා සහ විදේශිකයන් එක්ක ගනුදෙනු කරන්න දන්නවා..... එත් අනිත් හෙම පළාතකම (අරුගම්බේ, බේරුවල, තංගල්ල ......) විදේශික හෝ ලාංකික සංචාරකයන්ට සිදුවෙන අකරතැබ්බ නොසලකා හරින්න අමාරුයි ......

    ReplyDelete
    Replies
    1. ඇත්ත. අදටත් අපට බිකිනියක් ඇඳපු සුද්දියක් එතරම් ගාණක් නෑ. ඒත් දරුවොත් එක්ක හික්කඩු ආපු ගම්පහ පැත්තෙ ඇත්තියක් (අපේ ඔෆිස් එකේ නෝනා කෙනෙක්) ඒක දැකලා රටේ සජාචාරෙ, සගිස්කුරුතිය සහ සබ්බෙට්ට ගැන බොහොම කලබල වුණා

      Delete