Wednesday, May 20, 2015

අවාරේ සිරිපා...



‍බොහෝ කලකට පෙර ගියා වුණත් අද ඊයෙ ගියා වගේ හිතේ රැඳිච්චි 
අපූරු චාරිකාවක විස්තර ටිකක් අරගෙනයි මං අද ආවෙ.

ශ්‍රීපාද අඩවිය, එහෙමත් නැත්නම් සමනල අඩවිය කියන්නේ පාරිසරික, ආගමික හා සංස්කෘතිකමය අතින් ලංකාවෙ ඉතා වැදගත් ප්‍රදේශයක්. කවුරුත් දන්න පරිදි ශ්‍රීපාද වන්දනා සමය දෙසැම්බර් මාසෙ පෝය දවසින් ආරම්භ වෙලා මැයි මාසෙ වෙසක් පෝය දවසින් අවසන් වෙනවා. නිරන්තර තද වැසි සහිත කාලගුණ තත්ත්වය මදක් වෙනස් වෙලා මේ කන්ද තරණයට සුදුසු යහපත් කාලගුණික තත්ත්වයක් තියෙන්නෙ මේ කාලසීමාව තුළදී පමණයි. ඉතින් මේ කියන කාලසීමාව තුළ මේ සුවිශේෂ පරිසර පද්ධතිය ලක්විය යුතු සියලුම ආකාරයේ අතවරයන්ට ලක්වෙනවා. සෑම සිරිපා වාරයක්ම අවසා‍නයේ එහි පවිත්‍රතා කටයුතුවල නියැලෙන තරුණ සත්වවේදීන්ගේ සංගමය ඇතුළු සෙසු ස්වේච්ඡා සංවිධාන මේ පිළිබඳ සාක්ෂි දරයි.

ඉතින් මේ සියලු අතවර වලින් මිදිලා මේ වනපෙතත් එහි වෙසෙන සත්ව ප්‍රජාවත් නිදහසේ හුස්මක් ගන්නේ මැයි සිට දෙසැම්බර් දක්වා වන කෙටි අවාර කාල සීමාවේ පමණයි. ඒ නිසා මගේ මේ උත්සාහය අවාරෙ කාලෙටත් සිරිපා යන්නට ඔබ පොළඹවලා උන්ට ඒ නිදහසත් අහිමි කරවන්නට නම් නෙවෙයි.

අවාරෙ සිරිපා යන්නට හිතන්ට කලින් ඔබ ‍බොහෝ කරුණු සලකා බැලිය යුතුයි. ඒ සඳහා මස්කෙළිය පොලිස් ස්ථානයෙන් අවසර ලබා ගත යුතු බවත් මා මෑතක පුවත්පතක දැක්කා. ඒ කරුණ ස්ථිර කරගත යුතුයි. ඒ වගේම මේ කාලසීමාව මේ ප්‍රදේශයට අධික වැසි පතිත වන සමයක්. එවිට පඩිපෙළ ඔස්සේ දියදහරා ගලා එන්නේ විශාල දියඇල්ලක් වගේ අධික ජවයකින්. ඇතැම් විට ඊට හසුවුවහොත් ඔබ ප්‍රපාතයට ඇදවැටීමට වුවත් බැරිකමක් නෑ. ඒවගේම මේ කාලය වනසතුන් නිදහසේ සැරිසරන සමයයි. අමතක කරන්න එපා සිරිපා අඩවිය කුරු ඇතුන්ගේ නිදහස් නිවහනක් බව. එසේම මේ කාලයට පාරදිගේ ඇති විදුලිබුබුළු ක්‍රියාත්මක වන්නේ නෑ. විදුලිබලය ඇත්තේ මළුවට පමණයි. ඒනිසා රාත්‍රී ගමන් නුසුදුසු බව තරයේ හිතට ගන්න. පරිසරයටත් එහි සතා සීපාවාටත් කිසිදු බාධාවක් නොවන පරිදි පරිස්සමින් යන්නට හැකි බවට විශ්වාස නම් පමණක් අපි සමන් දෙවි කරුණාවයි කියලා ඕං පිටත්‍ වෙමු.

මේ ගමන අපි ගියේ 2008 අවුරුද්දේ නොවැම්බර් මාසෙ. සුපුරුදු රාත්‍රී තැපැල් දුම්රිය තමයි එදත් අපට පිහිට වුනේ. පාන්දර ජාමේ හැටන් දුම්රිය පොළෙන් බැහැගත්තු අපි එළිය වැටෙන තුරු දුම්රිය පොළේ බංකුවක් උඩ මරහීතලේ ගුලි වෙලා උන්නා. යාන්තම් එළිය වැටෙද්දි නගරයේ විවෘත කරලා තිබුණු එකම හෝටලේට ගොඩවැදිලා සරල ආහාරයක් ලබා ගත් අපි එකාට එක බැගින් ලොකු පාන් ගෙඩි මිලදී ගත්තා. (දින 02ක් අපි කෑවේ පාන්ම තමයි) ඉන්පසු හැටන් වලින් පිටත්වන මුල්ම බස්රියෙන් අපි නල්ලතන්නිය බලා පිටත්වුණා.
සිරිපා සමයේ අතිශය ජනාකීර්ණ කාර්යබහුල නගරයක් වන නල්ලතන්නිය පාළු කතරක් වගෙයි අපට දිස්වුණේ. වෙනදා සිරිපා ගමන්මග ආරම්භ වන ස්ථානයේ සිට දක්නට ලැබෙන තාවකාලික කඩ සාප්පු එකක් වත් ති‍බුණේ නෑ. දිරාගිය ඇටසැකිලි වගේ ඉතිරි වුණු කණු දෙක තුනක් විතරයි දකින්ට තිබුණේ.

මකර තොරණ අබියස - ඔය විසිරී සිටින සියලු දෙනා අපේ නඩේ ඇත්තෝ
මේ කාලයේ මා සතුව තිබුණේ ඉතා ප්‍රාථමික මට්ට‍මේ ඩිජිටල් කැමරාවක්. ඒනිසා ඡායාරූපවල ගුණාත්මක භාවය පිළිබඳව මා දයාබර රසිකයෝ කමත්වා...!
මකර තොරණ පසුකර මදක් ඉදිරියට යන විට දක්නට ලැබෙන රතුපාලම ඔබ කාටත් හුරුපුරුදු එකක් වනවා නිසැකයි. එහි කෙළවරින් පහතට විහිදුණු ඉතා කුඩා අඩිපාර දිගේ මදක් පහතට බසින්නට ඔබට අවස්ථාවක් ලැබුණොත් සුන්දර කුඩා දිය ඇල්ලක් දැක ගන්නට හැකියි. 

නමක් නැති ‍සුන්දරිය..
මෙම ඡායාරූපයේ ඉහළින් ඔබ දකින්නේ සුප්‍රකට රතු පාලමයි. වෙනදාට වටපිටාව ආවරණය කෙරෙන කඩසාප්පු දක්නට නොලැබුණු නිසා අවට පරිසරය නිරීක්ෂණයට අපට අපූරු නිදහසක් හිමිව තිබුණා.
පාළුවට ගියා සිරිපා මග...

අවට සුන්දරත්වය

ජපන් සාම චෛත්‍යයත් පසු කර ඉහළට ගමන්කළ අපි සීතගඟුලේ නාන තොටුපොළ වෙත පැමිණියා. මෙහිදී තොටුපොළෙන් ස්නානය කරනු වෙනුවට ගඟ දිගෙ තරමක් ඉහළට ගමන් කළ අපි කුඩා දියඇල්ලක් අසළ ස්නානය කළා. මෙය ඉතා කල්පනාකාරීව කළ යුතු කටයුත්තක්. මොකද ඉහළට ඇද හැලෙන මහවැසි නිසා මේ කාලයේ ගංගා ඇළ දොළ වල දියපහර ක්ෂණිකව වේගවත් වන නිසා.
දියනෑ තැන..
දියනෑමෙන් පසු අප ගෙනා සීනිසම්බල් සමග පාන් අනුභව කොට නැවතත් ගිරිතරණය ඇරඹුවා. මේ වන විට ක්‍රමයෙන් කාලගුණ තත්ත්වය වෙනස් වන්නට පටන් ගත්තා. තද සුළං සමග පොද වැහි ඇදහැලුණත් වාසනාවකට වගේ තද වැස්සකට ලක් නොවීමට තරම් අප වාසනාවන්ත වුණා. වරින් වර වැස්සෙන් සුළ‍ඟින් බාධා වුණත් අවට සුන්දරත්වය වින්දනය කරන්න‍ට අපට හැකි වුණා.
නොඉඳුල් වනගහනය..
ක්‍රමයෙන් ඉහළට යත්ම සදාහරිත තෙත් කඳුකර කලාපීය වනාන්තරයක අනන්‍ය ලක්ෂණ අපට දක්නට ලැබුණා. දැඩි සුළං ප්‍රවාහය නිසා ඇද වූ හා කුරුවූ ගස් ඒ අතරින් ප්‍රධානයි.
කුරුශාක...
කුරු ශාක...
මේ විදියට අවට සුන්දරත්වය උපරිමයෙන් විඳිමින් මහගිරි දඹය හරියේදී මහවරුසාවකටත් ලක්වෙමින් අපි මළුවට පැමිණියා. 
මාවුස්සාකැලේ ජලාශය..
මේ දවසේ අවසාන ඡායාරූපය... සවස පහට පමණ උඩ මළුවේ සිට මාවුස්සාකැලේ ජලාශය...
එදින රාත්‍රිය අමතක නොවන එකක්. ලේ කැටි ගැහෙන හීතලේ අධික සුළං ධාරා මැද රාත්‍රිය ගත කළ අපි පසුවදා රත්නපුර පාරෙන් පල්ලම් බැස්සා. ඔහොම මෙහෙම අලි මුණ නොගැසී කැලේ මැදින් පල්ලම් බැහැපු හැටි බලාපොරොත්තු වන්න...

30 comments:

  1. එල ද බ්‍රා..
    ඉතුරැ ටිකත් ලියන්න.
    ආවරේ සිරිපාදේ යන්න හොදම කාලය මොන මාසද? වැස්ස ටිකක් අඩු වෙන්නෙ
    පොලිසියෙන් අවසර ගන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මෙන්ඩා
      වැස්ස අඩු කාලයක් අවාරෙ නම් නෑ මචං. හැබැයි අපි ගිය කාලෙ (නොවැම්බර්) වැස්ස තරමක් අඩුයි. ඒත් මහගිරි දඹේ හරියෙදියි, එද්දි සිරිපාගම කිට්ටුවදියි නම් වැස්සා අනෝරා වැස්සක්.
      පොලිස් කේස් එක මාත් හරියට දන්නෙ නෑ. සිරීපාදෙ හාමුදුරුවො (බෙංගමුවේ ධම්මදින්න හාමුදුරුවො) පත්තරේට කියල තිබුණා අවාරෙ යනව නම් පෝයට කලින් දවසෙ විතරක් එන්න. නැත්නම් මස්කෙලිය හරි නෝර්ටන් බ්‍රිජ් හරි ‍පොලිසිය දැනුවත් කරල එන්න කියලා

      Delete
    2. එහෙම අවසර ගන්න කියල එකක් නම් නැහැ.දැනුවත් කරල යන එක කෝකටත් හොදයිනේ.මැයි වලින් පස්සෙ එක දිගට වහිනවා මේ පැත්තට මේ දවස් වල ඒ කියන්නේ සැප්තැම්බර් අග ඉදන් ටිකක් වැස්ස අඩුයි.උදේට පායනවා.හවසට වහින්න පටන් ගන්නවා.

      Delete
  2. මාත් අවාරේ සිරිපා ගිහිං තියනවා. ඇත්තටම නියම සුන්දරත්වය දකින්න පුළුවන් ඒ විදිහට ගියොත් තමා. අපිටනම් රෑ නාත්රවෙන්න ලැබුනේ සිරිපාදේ බලාගන්න හිටපු කෙනාගේ කාමරේට අල්ලපු කාමරේ. පට්ටම ආතල් එකක් ගත්තා.

    ReplyDelete
    Replies
    1. අපිත් නැවතුනේ උඩමළුවෙ කුස්සියේ. එතන බලාගන්න හිටිය අය නම් හරිම හොඳ මිනිස්සු. අපට හොඳට සැලකුවා

      Delete
  3. අැත්තට ම තාම යන්න බැරිවුණ ගමනක් .... දැන්නම් අාසා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. යනව නම් බොහොම පරිස්සමින් කුරුටු. අවාරෙ මූණ පාන්න වෙන අභියෝග ගොඩයි. පැත්ත පළාතක මිනිස් පුළුටක්, කඩයක් නෑ. අවශ්‍ය සියලුම දේ කරගහගෙන යන්න වෙනවා.

      Delete
  4. Replies
    1. අනිවාර්යයෙන්ම ඉක්මණින් ලියනවා බුද්ධික

      Delete
  5. මමනං ඔය වැඩේට එච්චර කැමති නෑ.
    ඒත් විස්තරේ රසවත් ඇතිනෙ. ඉතුරුවත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. මොන වැ‍ඩේටද ප්‍රසන්න එච්චර කැමති නෑ කිව්වෙ. අවාරෙ යන එකටද? මාත් කැමති නෑ කට්ටිය පිරිලා අවාරෙ යන එකට. යාන්තම් කැලේ සතුන්ට නිදහසේ හුස්මක් ගන්න ත‍ියෙන්නෙ මේ කාලෙට විතරයි. ඒත් වගකීමක් ඇතුව සංචාරය කරන කෙනෙක් පරිසරයට හානියක් නොවෙන්න ගියාට අවුලක් නැතිවෙයි නේද?

      Delete
    2. පරිසරයට ඇත්තටම ආදරය කරන කෙනෙක් ඒ කාලෙට ඒ පරිසරයෙ තියෙන සංවේදී භාවයට හානි නොකර ඔය ගමන යයි කියල හිතන්න පුලුවන්. නමුත් ඔහොම යන බව ආරංචි උනාට පස්සෙ ඔය විදියට යන්න උත්සාහ කරන බොහෝ දෙනෙක් ඒ වගේ අය වෙන්න පුලුවන් කමක් නෑ. ඒ හින්ද යම් සීමාවක් දැමිය යුතුයි.

      Delete
    3. සහතික ඇත්ත ප්‍රසන්න. එහි එක පියවරක් හැටියට තමයි අවාරෙ යන අය පොලීසිය දැනුවත් කරලා යන්න කියන්නේ

      Delete
    4. ///නමුත් ඔහොම යන බව ආරංචි උනාට පස්සෙ ඔය විදියට යන්න උත්සාහ කරන බොහෝ දෙනෙක් ඒ වගේ අය වෙන්න පුලුවන් කමක් නෑ. ඒ හින්ද යම් සීමාවක් දැමිය යුතුයි.///

      මිනිස්සු බොහෝ දුරට අදාළ මාර්ගයේ පමණක් යනවනම් පරිසරයට ලොකු ගැටළුවක් වෙන්නේ නැති වේවි. අවාරේ සිරීපාදේ යන එක සම්බන්ධ ගොඩක් දේවල් කියවෙන්නේ මිනිස්සුන්ගෙම ආරක්ෂාවට වෙන්න ඕනේ.
      විශේෂයෙන් ස්වභාවික තත්ත්වයන්ගෙන්...

      ඒ වගේම ඔය කාලෙට හැමෝටම යන්න බැහැ බං. බඩුවක් මුට්ටුවක් ගන්න කඩයක්වත් නැහැනේ. ඔක්කොම උස්සගෙන යන්න ඕනේ. කන්න වෙන්නේ පාන් විතරයි.
      ඒ කට්ට කන්න කැමති එකෙක් ගියොත් මිසක් මේ ගමන සාමාන්‍ය ජනතාව අතරේ ලොකුවට මාකට් වෙන එකක් නැති වෙයි

      Delete
  6. Mamath 2006 di me widihatama sripade nagga...
    Heta sinhalen comment ekak daannam e gena

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකක් නෙවෙයි ලොකූ පෝස්ට් එකක්ම ලියපන් පින්තූරත් එක්ක

      Delete
    2. උඹ ප්‍රාථමික කැමරාවකින් ගත්තය කිව්වට මේකේ තියෙන ෆොටෝ ගොඩක් ඒවා මටනම් පට්ට...

      අපි ගිය ට්‍රිප් එකේ පින්තුර මුකුත් නැහැ මචං. ඒ දවස්වල මගේ ගාව කලින් නකල්ස් අරගෙන ගිය පරණ කැමරාවවත් තිබුනේ නැහැ මචං...
      කවුරුහරි එකෙක් අරගෙන ගිහින් ආපහු දුන්නේ නැද්ද කොහෙද ඒක...

      අපි සෑහෙන උඩකට නැග්ගට පස්සේ වැස්සක් ඇවිත් පඩිපෙළ දිගේ පොඩ්ඩක් උඩට දිව්වා, හෙවනක් හොයාගෙන.
      වැඩිදුරක් යන්න හම්බ උනේ නැහැ. දිව දනිස් දෙකේ වදින්න ගත්තා. අපේ වෙලාවට වගේ වැස්සත් යන්න ගියා. හැබැයි එතනින් එහාට අපි ඔක්කොම වගේ ගියේ කෙලින්ම හතර ගාතෙන්. තනිකර කකුල් දෙකෙන් විතරක් කවුරුවත් මහගිරි දඹේ නැග්ගේ නැහැ.
      යකඩ බට වල අත් දෙකෙන් එල්ලිලා ටික ටික උඩහට බඩගාගෙන යනවා වගේ ගමනක් ගියේ.
      හතිය වැඩිවෙලා මැරෙයි කියල හිතෙන ගාණට හැමෝටම හති.

      උඹ කිව්වා වගේ මේක පෝස්ට් එකක් විදිහට දාන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ...

      Delete
  7. මම සිරීපාදෙ ගිහිල්ලම නෑ මිත්‍රයා..පුදුම ආශාවක් තියෙන්නෙ යන්න. දැන් ලංකාවෙ නැති නිසා ඒ ආශාව තවත් වැඩි වෙලා...ඒ ආශාව තවත් වැඩිකලා මේ ලිපිය සහ පින්තූර...

    ReplyDelete
    Replies
    1. ලාංකිකයෙක් තමංගෙ ජීවි‍තේ එකපාරක් හරි යන්න ඕන තැන්වලින් එකක් සිරීපාදෙ කියන්නෙ. කවදහරි පලයං සිරෝ. ජීවිතේට අමතක වෙන එකක් නෑ ඒ අත්දැකීම

      Delete
  8. මගෙත් පරණ මතකයන් අලුත් කරන පොස්ට් එකක්. සිරිපාදේ තියන සුන්දරත්වය, දැහැමි නිස්කලංක බව ගොඩක්ම අත්විඳින්න පුළුවන් අවාරෙට තමා. රත්නපුර සහ කුරුවිට පාරවල් වලිනුත් ගිහින් ඇති පොස්ට් නොදැම්මට. අවාරේට කුරුවිට පාර තියෙන සුන්දර හුදෙකලාබව මම වෙන කොහෙදිවත් අත්විඳලා නැහැ. ඒවගේම කොතෙරම් ගියත් එපා නොවෙන ස්ථානයක්.

    අනාගතේ අවාරේ යන්න බලාපොරොත්තු වෙන අය අවශ්‍ය තැන් වලට දැනුම් දීල, පරිසරයට (ටොපි කොලය පවා පොඩි සිලි මල්ලකට එකතුකරගන්න ගමන්) සත්තුන්ට කරදරයක් නොවෙන්න, චාරිත්‍ර වාරිත්‍ර වලට ගරු කරමින් යන්න ඕනේ. නැතිනම් මේවගේ සුන්දර අත්දැකීම් නීතියෙන් තහනම් වේවි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම සමිත්. අපි එනකොට ආවෙ රත්නපුර පාරෙන්. කට්ට කැලෑව වැවිච්ච බලු බල්ලෙක් නැති ඒ පාර හරිම සුන්දරයි.
      අවාරෙ සිරිපා යන එක ප්‍රමෝට් කරන එක වරදක් කියලා මටත් හිතෙනවා. ඒත් මගේ බ්ලොග් එක බලන්නෙ සීමිත, පරිසරයට ආදරය කරන පිරිසක්. ඒ හින්ද පරිසරයට හානියක් වෙන එකක් නෑ කියල මම හිතනවා සහ ප්‍රාර්ථනා කරනවා

      Delete
  9. දහස් වාරයක් සමාව ඉල්ලනවා. මට මේක මගඇරිලා.
    අවාරෙ සිරිපා වන්දනාව මොනතරම් සුන්දර අත්දැකීමක් වෙනවා ඇතිද කියලා නිකමට හිතුනා අර සුරංගයාගෙ යාං හෑල්ල බලද්දි. ඇත්තටම මචං සෙනග ගැවසෙන ඝෝෂාව පිරුණු දිය ඇල්ලක් වුනත් කොයිතරම් සුන්දර වුනත් මටනම් පේන්න බෑ. උඹේ මේ පින්තූරවල ලියවුණු සුන්දරත්වය වන්දනා සමයේදිනම් කවදාවත් දකින්න බැරි වේවි කියලා හිතෙනවා. මොකද මචං, මිනිස් පහස ඉවත්ව ගිය වහාම පරිසරය තමන්ගේ සුපුරුදු වේශය ආරූඨ කරගන්නවා. අවලස්සනකට ඉතිරි වෙන්නෙ මිනිස්සු නොසැලකිල්ලෙන පරිසරයට එක් කරන කැලි කසල ටික විතරයි. උඹේ මේ පින්තූර එකතුවත් හරියට කවියක් වගේ.

    ReplyDelete
    Replies
    1. පෝය දාකට පන්සල් යන්න මං අකමැති ඔය කාරණය නිසාමයි. පන්සලේ තියෙන ශාන්ත සිරියාව එදාට අතුරුදහන් වෙනවා

      Delete
  10. හරිම රසවත් වගේම වටිනා තොරතුරු සමුදායක්. වඩාත් මා සිත් ගත්තේ සුන්දර සේයා රූ පෙළයි. ඉතිරි කොටස කියවන්නට මග බලා ඉන්නවා.

    ReplyDelete
  11. මේ මගේ සිහිනයක්..කොටින්ම මේ ගැන හොයද්දි තමා මේක දැක්කෙත්.අනිවා කොහොමහරි යන්නම ඕනි.

    ReplyDelete
  12. කොහොම ගියත් මේ යන්නෙ සමන් දෙවියන්ගෙ අඩවියට ඒකනිසා වැරදි නොකර පරිසරයට හානි නොකර යන එක තමයි ඇගට ගුණ නැත්නම් සොරිම තමයි

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. නියමයි අපි යන්න බලාගෙන ඉන්නේ දැනුවත් කිරීම පිළිබඳව ස්තුතියි

    ReplyDelete