Friday, June 1, 2012

සිංහරාජය රස වින්දෙමි... Part I


සිංහරාජය කියන්නේ ලංකාවේ අපිට උරුම වෙච්ච අපූරු සම්පතක්. නමුත් ඒ ගැන මම වැඩිදුර විස්තර කරන්න යන්නේ නෑ. මොකද බොහෝ දෙනෙක් සිංහරාජය ගැන අහලා, දැකලා, කියවලා තියෙන නිසා. මම ඒ වෙනුවට කරන්න යන්නේ පසුගිය දවසක මම සිංහරාජයේ කරපු සංචාරයකින් ලබපු අත්දැකීම් ටිකක් සහ මගේ තෙවන ඇස දැකපු සොඳුරු දසුන් කිහිපයක් ඔබත් එක්ක බෙදා ගන්න. අඩුපාඩු එහෙම තිබුනොතින් කියන්න ඕන ඕං...
සිංහරාජයට ඇතුළු වියහැකි නිලලත් මාර්ග තුනක් තියෙනවා. ප්‍රකටම මාර්ගය තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, වැද්දාගල හරහා කුඩව පිවිසුමෙන් සිංහරාජයට ප්‍රවිෂ්ට වීම. මේ මාර්ගය සාපේක්ෂව පහසු එකක්. අනිත් මාර්ගය  තමයි දෙනියාය මෙදේරිපිටිය හරහා පිටදෙනිය පිවිසුම. මේක තරමක් දුෂ්කර මාර්ගයක්. දෙනියාය එන්සල්වත්ත හරහා මෝනින්සයිඩ් මාර්ගයත් ඉතා සුන්දර නමුත් අතිදුෂ්කර මාර්ගයක්. මේ මාර්ග තුන අතරින් මගේ වඩාත්ම සිත්ගත් මාර්ගය තමයි දෙනියාය-පිටදෙනිය මාර්ගය. මේ මාර්ගය හරහා මම දෙවරක් සිංහරාජය තරණය කර තිබෙනවා. අද ලියන්නේ ඉන් එක අත්දැකීමක්. සෙස්ස පස්සට...
මේ මාර්ගය හරහා යනවා නම් නවාතැන් සඳහා පිටදෙනිය වන නිවහන තෝරාගත යුතු වෙනවා. මහා කැලේ මැද ගිං ගං කොමලියගේ ඉවුරේ පිහිටි මේ සුන්දර නවාතැනේ දිනයක් ගත කිරීමත් ජීවිතයේ අමතක නොවන මිහිරි අත්දැකීමක්. 


පිටදෙනිය වන නිවහන
මේ තියෙන්නේ පිටදෙනිය වන නිවහන. (මේක කල් ඇතුවම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් හෝ මාතර වන සංරක්ෂණ කාර්යාලයෙන් වෙන් කරව ගත යුතුයි. කාට හරි මේ ගැන උදව්වක් ඕන නම් මට ඊයක් එවන්න.) එහෙනම්... බලමු චාරිකාවේ විස්තර...


අපි ගමන පටන් ගත්තේ උදේ 5.00 ට විතර ගාල්ලෙන්. මේ ගමනට මාත් එක්ක හැමදාමත් කන්කෙඳිරි නොගා ඕනෑම කැලෑවක, කටු අකුලක යන්න එන මගේ ආදරණීය හාමිනේත්, තව මේ වගේ ගමන් වලට කැමති මිතුරන් කීප දෙනෙකුත් එක් වුණා. මේ ගමන යන අතරමග දකින්නට ලැබෙන දිය ඇලි කීපයකුත් නැරඹීම අපේ එක අරමුණක් වුනා. බොහෝ දෙනෙක් නොදන්නවාට දකුණු පළාතේ බොහොම සුන්දර දිය ඇලි කීපයක්ම තියනවා. ඒවා අතරින් 10 කට ආසන්න ප්‍රමාණයක් මේ ගමනේදී දැක ගන්න තරම් අපි වාසනාවන්ත උනා. මේ පලවෙනි එක. මේක දකින්න ලැබුනේ අකුරැස්ස පහු කරලා ටිකක් දුර යන කොට.  තේ වතු යායක් මැදින් වැටුණු දුෂ්කර පාරක කිලෝ මීටර් තුනක් විතර ගියාම මේ සුන්දර ඇල්ල දැක ගන්න ලැබුණා. අපි මේක බලන්න ගියේ වැහි කාලෙක. එක නිසා මේ ඇල්ලේ වතුර හොඳටම බොර වෙලා තිබුනේ. ඒ වගේම මේ ඇල්ල අසල ජලවිදුලි බලාගාරයක් ඉදිවෙමින් තිබුනා. වතුර බොර වෙන්න ඒකත් එක හේතුවක් වෙන්න ඇතී. එහෙනම් කතා ඇතී ඔන්න බලන්න මේ ඇල්ලේ ලස්සන. ආ... මේ ඇල්ලේ නම කියන්න අමතක උනා නේ. මේ තමයි "ඇතාමල ඇල්ල" 


ඇතාමල ඇල්ල
මේ ඇල්ලේ සුන්දරත්වය විඳිමින් අපි බොහෝ වෙලාවක් ඒ අසල ගත කළා. ඇල්ල වගේම ඇල්ලේ පහල කොටසත් බොහොම චණ්ඩ ස්වරූපයක් තමයි දකින්නට තිබුනේ. මේ බලන්න....
ඇතාමල ඇල්ලේ සැඩවර (rapids)
පේනවා නේද? මේ ඇල්ල නම් දියනෑම සඳහා කොහොමටවත් සුදුසු තැනක් නෙවෙයි. ඒක නිසා පරිස්සම් වෙන්න. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ දෙනියාය නගරයට. වන නිවහනේ නවාතැන් ගන්න ඔබ ඔබගේ ආහාරය සඳහා අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය රැගෙන යායුතු වෙනවා. එහෙ ඉන්න අරක්කැමියා බොහොම අපූරුවට ඒවා උයලා දෙනවා. (Haffoi... මතක් වෙද්දීත් බඩ දනවා...ඒවගේම මතක ඇතුව දෙනියායෙන් ඩීසල් ලීටර් කීපයකුත් ගන්න. නවාතැනේදී විදුලිය ලැබෙන්නේ අපි දෙන ඩීසල් ප්‍රමාණය අනුව. ඒ කියන්නේ ලීටර් එකක් දුන්නොත් විනාඩි හතළිස්පහක් විදුලිය ලැබෙනවා. තඩි ඉටිපන්දම් දෙක තුනකුත් ගන්ට මතක ඇතුවම. මේ වගේ අවශ්‍ය දේවල් ගන්න ලැබෙන හොඳම තැන තමයි දෙනියාය. මෙදෙරිපිටියෙත් කඩමන්ඩියක් තියෙනවා. හැබැයි කොයි එකටත් සූදානම් සරීරෙ කියලා ඕන කරන සේරම දේවල් දෙනියායෙන්ම ගන්න.
ඉතින් මේ කියපු සේරම දේවලුත් අරගෙන අපි දෙනියායෙන් පල්ලේගම බලා පිටත් උනා. පල්ලේගම හන්දියෙන් මෙදෙරිපිටියට හරවන්නේ නැතුව කොලවෙනිගම පාරේ ටික දුරක් යන්නට අපි තීරණය කළේ ලෝක ප්‍රකට හත්මාලේ ඇල්ලත් බලාගෙනම යන්න ඕන නිසයි. ගිං ගඟේ ඉහල කොටසේ දකින්නට ලැබෙන මේ අතිසුන්දර දිය ඇල්ල, මාල හෙවත් තට්ටු හතකට ඇද හැලුණු බව කියවෙනවා. දෙනියායේ ගංවතුර පාලනය කිරීම සඳහා ඒ කාලේ මේ ප්‍රදේශ පාලනය කරපු සුද්දන් විසින් දිය ඇල්ලේ මාල කීපයක් බෝර දමා කඩා දැමූ බවයි මෙහෙ ගම්වැසියන්ගේ අදහස. මේවා අපිට කිව්වේ අපිත් එක්ක මේ ඇල්ල බලන්න ආපු කොලවෙනිගම දීපාල් මල්ලි. 


හත්මාලේ ඇල්ලේ ලස්සන...
ඉතින් හත්මාලේ ඇල්ලත් රසවිඳලා අපි නැවත මෙදෙරිපිටියට ආව. දැන් තමයි ගමනේ හොඳම හරිය තියෙන්නේ. මෙදේරිපිටියේ ඉඳල පිටදෙනියට යනකම් තියෙන්නේ අඩිපාරක් වගේ පොඩි පාරක්. සාමාන්‍යයෙන් ඔය පාරේ යන්නේ මෝටර් බයිසිකල් විතරයි. මෙදෙරිපිටියෙන් පිටදෙනියට ඇතුළු වෙන පාලම බොහොම පටු එකක්. හැබැයි අමාරුවෙන් හරි පාලමෙන් වාහනේ එගොඩ කරගත්තොත් තව කිලෝ මීටර් එකහමාරක් විතර වාහනෙන් යන්න පුළුවන්. නැතිනම් වාහනේ මෙදේරිපිටියේ නවත්තල පයින් තමයි යන්න වෙන්නේ. මේ තියෙන්නේ අපි වාහනේ එගොඩ කරගත්තු හැටි.
දුෂ්කරක්‍රියාව
මෙහෙම අමාරුවෙන් වාහනේ එගොඩ කරගත්තත් යන්න පුළුවන් බොහොම ටික දුරයි. ඊට පස්සේ ළඟ ගෙදරක වාහනේ දාලා බඩු මුට්ටු ටිකත් අතින් කටින් එල්ල ගෙන අපි පාද යාත්‍රාව පටන් ගත්තා. මේ පාර තියෙන්නෙත් ඇත්තටම සිංහරාජ රක්ෂිතය හරහාම තමයි. ඉතින් කොච්චර දුෂ්කර වුනත් මේ ගමන හරිම සුන්දරයි. මේ තියෙන්නේ යන අතරමගදී දැකපුවා...


මග දිගට දුටු සුන්දරත්වය...
මේ විදියට කිලෝ මීටර් තුනක් විතර ආවම පිටදෙනිය වන නිවහනේ පිවිසුමට එන්නට අපිට හැකි උනා. එය පිහිටා තිබෙන්නේ ගිං ගඟේ අනෙක් ඉවුරේ. ඒ සඳහා ගිං ගඟ තරණය කල යුතු වෙනවා. මීට පෙර මම මෙහි එනවිට ඒ සඳහා තිබුනේ හිස් බැරල් යොදා සකස් කල මෙම පාලම් පාරුවයි. නමුත් දැන් නම් ගඟ හරහා අති සුන්දර එල්ලෙන පාලමක් සකස් කර තිබෙනවා. 
පාරුවේ පුවක්...
මගදිගටම මේ ගොල්ලන්ගෙන් නං අඩුවක් තිබ්බෙ නෑ...
ඉතින් මේ වගේ අමු කට්ටක් කාලා අපි අපේ සොඳුරු නවාතැනට ආවා. ඊට පස්සේ තමයි හොඳම හරිය... ඒ ටික මම ඊළඟ පෝස්ට් එකෙන් කියන්නම්. අපි දැකපු, විඳපු සුන්දරත්වය නම් මෙහෙම අකුරු කරන ඒක ලේසි නෑ. නමුත් මට පුළුවන් හැටියට ලියන්නම්. ජීවිතේ ඒක දවසක් හරි මේ වගේ තැනකට යා යුතුයි කියල මම හිතනවා. හැබැයි තරයේම මතක තියාගන්න. මේක බොහොම සංවේදී පරිසර පද්ධතියක්. අඩුම ගානේ ටොපි කොළයක්වත් දාලා එන්න එපා. ඒ වගේම බීලා, සින්දු කියලා ආතල් එකක් ගන්න ඕන නම් කවදාවත් මේ වගේ තැනකට එන්න එපා. මේ වගේ තැන් තියෙන්නේ බොහොම නිහඬව පරිසරය වින්දනය කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි.

17 comments:

  1. පු...හ්... මනස්‌කාන්තයි....මාරයි , ලස්‌සනයි, අති ඊරිසියයි....මාත් යනව අද හෙටම.....හ්....ම්ම්....

    ReplyDelete
    Replies
    1. ඉරිසියා කරන්න දෙයක් නෑ. අනිවාර්යයෙන්ම මේක බලන්න යන්න. ඔයගොල්ලෝ වගේ සොබාදහමට ආදරේ කරන මිනිස්සු කොච්චර ගියත් මේ වගේ තැන් වලට හානියක් වෙන්නේ නෑ. ස්තුතියි මේ පැත්තේ ඇවිල්ලා දෙන ධෛර්යයට. පිටදෙනිය පැත්තේ යනවා නම් කියන්න. උදව්වක් එහෙම ඕන නම් කරන්න පුළුවන්.

      Delete
  2. මාරම ලස්සන තැනක් මමත් මැරෙන්න කලියෙන් එක වතාවක් හරි සිංහරාජ කැලේ රවුමක් යන්න මාරම ආසාවෙන් තමා ඉන්නේ මම ඉන්න දිහාවේ තියෙන බුද්ධංගල ලැලේ ඇතුලේ යාලුවොත් එක්ක සවාරි ගිහින් මම දවස් ගනං ඉඳලා තියනවා ඒත් වැසිවනාන්තරේක පයගහපු කාලයක් මතක නෑ

    පින්තූර ටිකත් මාර ගති

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි සඳරු මේ නම් මැරෙන්න කලින් එක වතාවක් වත් යායුතුම තැනක් තමයි. මමත් හරිම ආසාවෙන් ඉන්නවා බුද්ධංගල, නිල්ගල පැත්තේ කැලෑවල ඇවිදින්න. හැබැයි දැන් තියෙන තත්ත්වයන් එක්ක ඒ හීනේ කවදා හැබෑ කරගන්න ලැබෙයිද දන්නේ නෑ.

      Delete
  3. ලංකාවේ බොහෝ දෙනෙක් සිංහරාජයට ගියා කියල එහේ තිබෙන නියම සුන්දරත්වය විදින්නේ නැහැ. ඔවුන් බොහෝ දෙනෙක් කුඩව පාරෙන් සිංහරාජයට ඇතුල් වෙලා සැමදාම වැටෙන සිරිපොද වැස්සේ කූඩැල්ලොන්ට එරෙහිව සටනක් වගේ නවද ගහ බලන්න දුවන්න යනවා ඊට පස්සේ research එක ගාවට ගිහින් Jeep රථ මාර්ගයෙන් ඉක්මනට ගමන ඉවර කරනවා. ඒත් ඊට හාත්පසින් වෙනස් වූ නියම සුන්දරත්වය විදින්න පුලුවන් පිටදෙනිය මාර්ගයෙන් තමයි.

    ReplyDelete
    Replies
    1. සිංහරාජේ යනවා නම් දවසක් වත් සම්පුර්ණයෙන්ම එහෙ ගත කරන්න බලාගෙන යන්න ඕන. ඔයා කිව්වා වගේ බොහෝදෙනෙක් කරන්නේ කඩිමුඩියේ යෝධ නවඳ ගහයි, මුලාවැල්ල කන්දයි නැගල අපි සිංහරාජේ ගියා හැබැයි මෙලෝ දෙයක් දැක්කේ නෑ කියන එක. ඇත්තටම එහෙම ගිහින් මෙලෝ දෙයක් දකින්න බෑ තමයි. නමුත් සැනසිල්ලේ පරිස්සමෙන් ලංවෙලා බැලුවොත් කොයිතරම් නම් දේවල් දකින්න තියෙනවද? මම ඊළඟ පෝස්ට් එකෙන් ඒ විස්තර සේරම දාන්නම්. ස්තුතියි මේ පැත්තේ ආවට.

      Delete
  4. ලස්සන චාරිකා සටහනක්...මමත් සිංහරාජෙ යන්න ගොඩාක් ආසාවෙන් හිටියේ ඒක නිසාමයි මම පහුගිය අප්‍රේල් නිවාඩුවට යාලුවෙක් එක්ක රක්වානෙ ගියෙත්..ඒත් සුරියකන්ද පැත්තෙන් සිංහරාජයට ඇතුල්වීමට පන්සලෙන් අවසර නෑ..සිංහරාජෙ බලන්න තිබ්බ දැඩි ආසාව හින්දම අපි අනවසරයෙන් කැලේට ඇතුල් උනා..කැලේ ඇතුලේ පාරවල් නෑ..අපි කලේ පන්සල ලගින් ගලාගෙන යන දියපාර ඔස්සේ මාලිමාවට අනුව ඉහලට ගිය එකයි.දියපාරවල් තැන් තැන් වලින් බෙදෙනවා.ඒක නිසා මාලිමාව සැහෙන වැදගත්....අංශක 70 ක විතර ආනතියකින් අපි දියපාර දිගේ ඉහලට ගියා සැහෙන දුරක්.... ආරණ්‍ය සේනාසනයට පේන දිය ඇල්ල පාමුලටම යන්න පුලුවන් උනා..එතනින් එහාටත් උඩට යන්න පුලුවන්කම තිබුනත් මාත් එක්ක හිටපු අනිත් දෙන්නා යන්න කැමති උනේ නැ..ඉතින් ඒක හින්දා අපිට ආපහු එන්න උනා..ඊලග වතාවෙ මේ චාරිකා සටහනේ කියලා තියෙන ඉසව්වෙනුත් සිංහරාජයට යන්න බලාපොරොත්තු වෙනවා..වැද්දාගල පාර අහලා තිබුනත් මේ පාර ගැන මම දැනගත්තේ අද..බොහොම ස්තුතියි අත්දැකිම් බෙදාගත්තාට.....

    ReplyDelete
    Replies
    1. සූරියකන්ද පැත්තෙන් ඇතුළු වෙන්න පාරක් තියෙනවා. එනසාල්වත්ත මොර්නින්සයිඩ් හරහා. ඒ පාර ටිකක් දුෂ්කරයි. හොඳ ෆෝවීල් වාහනයක් නැත්නම් කිලෝමීටර් හතක් විතර පයින් යන්න වෙනවා. ඒකත් අපූරු අත්දැකීමක්. කොහොමවුනත් පිටදෙනිය හරහා ඇතුළු වුනාම දියඇලි සැහෙන ප්‍රමාණයක් බලන්න පුළුවන්. මම ඒ විස්තර සේරම ඊළඟ පෝස්ට් එකෙන් දාන්නම්. බොහොම ස්තුතියි

      Delete
  5. ලස්සන පින්තූර ටිකයි වටිනා විස්තර ටිකයි. කවදා හරි අපිට උන උනොත් මෙතනින් උපුටා ගත්තට කමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය වේලාවකදී විස්තරයක්, පින්තූරයක් උපුටා ගත්තට අමනාපයක් නෑ. හැබැයි ඉතින් ගත්තේ මෙතනින් කියලා කියනවානම් හොඳයි. ස්තුතියි මේ පැත්තේ ආවාට.

      Delete
  6. මාත් ගියා මෙතනට...

    ReplyDelete
    Replies
    1. කොහොමද තැන? සුපිරියි නේද?

      Delete
  7. නිවාඩුවට ලංකාවට ආවා! යන්න තැනක් හොයනවා! මේකත් දාගන්නම් ලිස්ට් එකට!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ජීවිතේ එක පාරක් හරි යන්න ඕන තැනක්. හැබැයි මේක බොහොම සංවේදී පරිසරයක් කියලා නම් මතක තියාගන්න.

      Delete
  8. ලස්සන පරිසරයක් දුෂ්කර වුනත් යන්න ආසයි...මේව දකිනකොට....

    ReplyDelete
  9. methana no ekak thiyanawada?kohomada thawa wadi wisthara labaaganne?

    ReplyDelete