Monday, February 5, 2018

කන්නෙලියේ උසම තැනට යමු... - Kabbale Kanda - The Highest Point in Kanneliya Forest Reserve


දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් කන්නෙලිය රක්ෂිත වනාන්තරය අතිශය සුවිශේෂ ජෛව විවිධත්වයක් සහිත වැසි වනාන්තරයක්. පොදුවේ KDN සංකීර්ණය (කන්නෙලිය, දෙදියගල, නාකියාදෙණිය) ලෙස හඳුන්වන මෙහි ඇති සුවිශේෂ ජෛව විද්‍යාත්මක වැදගත්කම නිසාම එය "මිනිසා හා ජෛවගෝල රක්ෂිතයක්" (Man & Biosphere Reserve) ලෙස යුනෙස්කෝව විසින් නම් කර තිබෙනවා. සොබාරූ මීට පෙර කිහිප වතාවක් කන්නෙලිය පිළිබඳ වාර්තා කර තිබෙන නිසාම කන්නෙලියේ වැදගත් කමත් එහි සුවිශේෂ පාරිසරික ලක්ෂණත් මෙම ලිපියෙන් විස්තර කරන්නට අදහස් කරන්නේ නෑ. මේ පහත සබැඳියාවන් ඔස්සේ මීට පෙර කන්නෙලිය පිළිබඳ ලියූ ලිපි බලන්නට පුළුවනි.

අදත් මම ඔබ කැටුව යන්නේ කන්නෙලියේ වන මං පෙත් අතරින් දුෂ්කරම නමුත් සුන්දරම මංපෙත වන කබ්බලේ කන්ද මංපෙත ඔස්සේයි. කන්නෙලිය පිවිසුම ආසන්නයේ ඇති ප්‍රවේශපත්‍ර කවුළුව අසළින් වනාන්තරය තුළට දිවෙන මේ මං පෙත කඳුකර දුෂ්කර ගමන් මගක් ඔස්සේ කඳු මුදුන වෙත යොමු වෙනවා. ඇතැම් විට ලිස්සන ගල්කුළු මතින් අසීරුවෙන් ගමන් කරන්නට සිදු වෙන බැවින් මෙවන් ගමනකට ඔබගේ ශාරීරික යෝග්‍යතාවය ඉතා වැදගත්...
අතරමග සොඳුරු දසුන්
මෙදා ගමනට එකතු වුණේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් මගේ සිසු පිරිසක්. මමත් පළවෙනි වතාවට තමයි දරුවන් පිරිසක් සමග මෙවන් ගමනකට එකතු වුණේ. එම නිසා ඔවුන්ගේ ආරක්ෂාව ගැන දැඩි අවධානයක් යොමු කරන්නටත් මට සිදු වුණා.
ගැට හොඹු කටුස්සා/කරමල් බෝදිලිමා - Hump Nosed Lizard - Lyriocephalus scutatus
විශාල පිරිසක් ගමනට සහභාගි වී සිටියත් නිශ්ශබ්දව වනාන්තරයට අනුගත වෙමින් ගමන් කළ නිසාමයි අපට මේ බිත්තර දමමින් සිටි ගැට හොඹු කටුස්සා/කරමල් බෝදිලිමා - (Hump Nosed Lizard) දැක ගන්නට ලැබුණේ. ඌට බාධාවක් වන පරිදි ළඟට නොයන්නටත්, ෆ්ලෑෂර් භාවිත කරමින් ඡායාරූප නොගන්නටත් අප විශේෂයෙන් පරිස්සම් වුණා. අතරමගදී අපට එල්ලවුණු විශාලම බාධාව වුණේ කෙළවරක් නැතිව එල්ලෙන කූඩැල්ලන්. ජීවිතේ කවදාවත් මෙතරම් දුෂ්කර ගමනක් ගිහින් නැති, කිසි දිනෙක කූඩැල්ලෙක් කා නොමැති යොවුන් දරුවන්ට මෙය අතිශය වෙනස් අත්දැකීමක් බවට පත්වුණා. ලෙයින් පෙඟුණු සපත්තු සහ කලිසම් කකුල් වලින් යුතුව අපි දිගටම ඉදිරියට ගමන් කළා.
කූඩැල්ලන්ගේ ප්‍රහාර
මේ ගමනේ මුණගැහෙන එක් සුවිශේෂී කඩඉමක් වන්නේ ගල්ලෑලි දොළ ඇල්ලයි. වියළි කාලයට දිය බිඳක් වත් නැති මෙහි අපේ වාසනාවට මෙන් එදා හොඳින් ජලය තිබුණා.
ගල් ලෑලි දොළ ඇල්ල
මෙවන් ගමනකදී අවට පරිසරය ගැන දැඩි අවධානයෙන් ගමන් කිරීම ඉතාම වැදගත්. මේ සුන්දර සර්පයා අපට මුණ ගැහුණේ එසේ අවධානයෙන් ගමන් කළ නිසාමයි.
පළා පොළඟා - Green Pit Viper - Trimeresurus trigonosephalus
මේ ඉන්නේ ශ්‍රී ලංකාවට ආවේණික පළා පොළඟෙක් (Green Pit Viper) Vipiridae කුලයට එනම් වල පොළඟුන් (Pit Vipers - මොවුන් වල පොළඟුන් ලෙස හඳුන්වන්නේ ඇසට සමීපව ඇති ලෝරියල් ජිද්‍රය ලෙස හඳුන්වන තාප සංවේදී අවයවය නිසාය) අයත් කුලයට ගැනෙන එකම රුක්වාසී සර්පයා පළා පොළඟාය. සුන්දර පළා පැහැය නිසා පරිසරයෙන් එක්වර වෙන් කර ගත නොහැකි මොහු මද විෂ සර්පයෙක්.
මෙලෙස පරිසරයේ උපරිම වින්දනය ලබමින් ඉහළට ගමන් කළ අපි අවසානයේ කබ්බලේ කන්ද මුදුනට පැමිණියා. එහිදී දක්නට ලැබුණු දර්ශනය වර්ණනා විෂයාතික්‍රාන්තයි. මෙතෙක් දැරූ වෙහෙස එක් සුළං රැල්ලකින් පලවා හරින්නට එ් සුන්දර දර්ශනය සමත් වුණා.
කබ්බලේ මුදුනේ සිට
දෙනියායේ සිංහරාජය දක්වා කුරුළු ඇසින් දකින්නට මෙහිදී ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ සුන්දරත්වය වචනයට නැගීම ඉතා අසීරු බවයි මගේ හැඟීම. කබ්බලේ කන්ද මුදුනේදීම ඉතා හුරුපුරුදු ශාකයක් දක්නට ලැබුණා. 
බිනර - Exacum trinerveum
කුඩා භෞමික පැළෑටියක් වන මෙය බිනර Exacum trinerveum නමින් හැඳින්වෙනවා. මෙය ලංකාවට ආවේණික අතිශය සුන්දර මලක් දරන ඖෂධීය වටිනාකමින් ඉහළ පැළෑටියක්. එම නිසා ජාන මංකොල්ලකරුවන්ගේ සෘජු ඉලක්කයක් බවට බිනර පත්වී තිබෙනවා.
කබ්බලේ කන්ද මුදුනේ සිට අනගිමල ඇල්ල දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවත් අපට හිමි වුණා.
අනගිමල ඇල්ල කබ්බලේ කන්ද මුදුනේ සිට


මෙවර චාරිකාව අවසන් වුණේ දරුවන්ගේ සිත් තුළ නොමැකෙන සුන්දර සටහන් ඉතිරි කරමින්. ඉතා දුෂ්කර නමුත් තෘප්තිකර දිනයක වෙහෙස නන්නිකිත දොළේ සෝදා හරිමින් අපි ගමන නිමා කළා.

19 comments:

  1. සුන්දර චාරිකාවක් වගෙයි. ඔය වගේ ගමනක් යන්න සහචරයන් හොයාගන්න මටනං අමාරුයි.
    කූඩැල්ලො කෑමත් හොඳ අත්දැකීමක් එක අතකට. අඩුම ගානේ ලේ දැකල කලබල වෙන්න තියෙන අවස්ථාවවත් නැතිවෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. මටත් දැන් ලේසියෙන් ගමනක් යන්න අමාරුයි ගෙදර වගකීම් එක්ක. මේ පාර මේ මගේ ගෝලයො ටික එක්ක යන රෙගියුලර් ට්‍රිප් එක

      Delete
  2. අනේ අපිට මේ වගේ සර් ලා හිටියේ නෑනේ.. :)

    තැන්කියු සර්.. ගියා වගේ තමයි ඉතින් ඔය ඇහැ තියෙනකං..

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හුඟ කාලෙකිං බං ගමනක් යන්න සෙට් වුණේ... බ්ලොග් එකත් පාළුවට ගිහිල්ල තිබුණෙ... යාන්තං කැලේ සුද්ද කරලා මකුළු දැල් කඩලා කාරිය ගොඩ ගත්තා

      Delete
  3. කියලා වැඩක් නෑ. බ්ලොග් එකේ කටු පදුරුත් වැවිලයි තිබුනේ. දැන්නම් සේරම සුද්දා උනා වගේ. ඔබ ලියන ඒවා හරිම ලස්සනයි. ඒ නිසා අමාරුවෙන් හරි කාලේ වෙන් කරගෙන ලියන්න බලන්න. බිනර මලේ පින්තුරේ ලස්සනයි. ඔබේ බ්ලොග් එක මම අසාවෙන් කියවන එකක්. ඉඩ ලැබෙන විදියට කෙටි ලිපි හරි ලියන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබගේ ඇගයීමට. මේ වගේ හෘදයංගම ප්‍රතිචාර දැක්කම කොහොම හරි ලියන්නම හිතෙනවා

      Delete
  4. මමත් 2006 දී දවස් තුනක් කන්නෙළියේ හිටියා අපේ සෙට් එකත් එක්ක...
    කබ්බලේ කන්ද, අනගිමල ඇල්ලයි තවත් ඇල්ලක් බැලුවා, ඒකෙ නම මට එක පාර මතක් උනේ "පේරගස් ඇල්ල" කියලා...
    කොයිකටත් කියල පස්සේ නෙට් එකේ පොඩ්ඩක් හොයල බැලුවම හරි නම අහු උනා...
    ඒක නාරංගස් ඇල්ල...
    තව වවුල් ගුහාව කියල ගුහාවක් බලන්නත් ගියා...

    ගල් ලෑලි දොළ ඇල්ලත් බලපු බවට ෆොටෝ වලින් හොයා ගත්තා, ඒත් නම දැනගත්තේ අද...

    ඒ කාලේ මගේ ගාව කැමරාවක් තිබුනේ නැහැ, හැබැයි අපේ උන් අතරේ පොඩි මෙව්වා එකක් තිබුනා ඔය වගේ ගමනක් ගියාම ෆොටෝ එකිනෙකා අතරේ ෂෙයාර් කරගන්න... :)
    ඒ නිසා මතක අමතක උනත් ෆොටෝ ටිකක් හරි ඉතුරුවෙලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. සවිස්තර කමෙන්ට් එකට ස්තූතියි ලොකූ. කොහොමත් උඹේ කමෙන්ට්ස් බොහෝම බරසාරයි.
      නාරංගස් ඇල්ල යන්න ඕන වැහි කාලෙක... නැත්නම් ඒකට දරපු වෙහෙස අපරාදේ වෙනවා. ඒත් නාරංගස් ඇල්ලට යන්න තියන පාර මරු. දොළ පාරවල් කීපයකින්ම එගොඩ වෙලා යන්න තියන නිසා ඒක මරු. වවුල් ගුහාව අනගිමල ඇල්ලට යන පාරෙ සෙට් වෙන්නේ. ගල් ලෑලි දොළ ඇල්ලෙ වතුර තියනවා මම දැක්කේ එදාමයි. මීට කලිං ගිහිපු හැම පාරම ගල්කුට්ටිය විතරයි.
      කොහොමටත් ගමනක් අවසානයේ පින්තූර ටික බලන එක තරම් ආතල් එකක් තවත් නෑ...
      ප.ලි. හත්වලාමෙ අර බ්ලොග් එක ලියහං...

      Delete
  5. මම පට්ට ආසයි මචො මෙවා බලන්න යන්න..ඒත්????????????උබට ලියපන් කියලා මරන තර්ජන කරන්නෙ...උබගෙ පොස්ට් එකත් එක්ක හිතින් හරි ඒ තැන් වල ඇවිදින්න........

    ReplyDelete
    Replies
    1. දැං මටත් එහෙම ඇවිදින්න කාලයක් නෑ බං... කැමරාවක් නැතුව දුක්වින්දා කාලයක්. දැං කැමරාව තියනවා... එළියට බැහැගන්න වෙලාවක් නෑ. ඔෆිස් යනවා, පන්ති යනවා ගෙදර එනවා. ඕක තමයි ජීවිතේ

      Delete
  6. පලා පොලගා කොහෙද යකො මද විශ...උබත් අර ලොකු පුතා වගෙ..ඌ අපෙ ගෙදර ඇවිත් සර්පයෙක් අතින් අල්ලලා අයින් කරා..පොඩි මෙන්ඩාගෙ විරයා ලොකු පුතා...ඌ කැමතිම බ්ලොග් එක උබගෙ එක

    ReplyDelete
    Replies
    1. පලා පොළඟා මදවිෂ තමයි යකෝ... බොරුනං කව්ව ගෙන බලහං.. හැක්
      ඌ මචං අර උග්‍රවිස සර්පයො පස් දෙනාට පස්සෙ ඉන්න විෂ සර්පයන්ගෙන් එකෙක්. සමහර විට දුර්වල ශරීරයක් තියෙන කෙනෙකුට උගේ විස මාරාන්තික වෙන්නත් පුළුවන්. හැබැයි ඉතිං ඒ හැටි දශ්ටන වාර්තා වෙලා නෑ. මූ ටිකක් දුර්ලභ ඩයල් එකක් නිසා වෙන්නත් පුළුවන්. මට නං රජෝ කොයිතරම් නිර්විස වුණත් සර්පයෙක් අතිං නං අල්ලන්න බැරි වෙයි. හැබැයි මේ වෙද්දි මං නයි දෙන්නෙක් ඇතුළු සර්පයෝ ගණනාවක් අල්ලලා (අතිං නෙවෙයි ඈ) මුදා හැරලා තියෙනවා

      Delete
  7. කො බන් මගෙ අනිත් කෙමෙන්ට් එක??????????

    ReplyDelete
  8. අපි වියදම බෙදාගන්න උබටයි ලොකු පුතාටයි බැරිද ට්‍රිප් එකක් එක්කරගෙන යන්න...දෙමල නයන්නවත් එක්කරගෙන...

    ReplyDelete
  9. සුන්දර ගමන් විස්තරයක්!

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete