Monday, November 26, 2018

Lonely Traveller's Waterfall Expedition & Wheelchair - හුදෙකලා සංචාරකයාගේ දියඇලි සවාරි සහ රෝදපුටු

නැවතත් හුදෙකලාවේ සංචාරයක යෙදෙන්නට අවස්ථාව ලැබුණා. ඇත්තටම මේ සංචාරයේ මූලික අරමුණ වුණේ ඉතා අසරණ අාබාධිත දරු පැටියෙකුට රෝද පුටුවක් ලබා දීම. මීට කලින් රෝදපුටුවක් දෙන්නට ගිය පරණ කාර් චාරිකාව මෙතනින් බලන්නට පුළුවන්. http://sobaroo.blogspot.com/2018/04/old-wagon-tours-moonplains-expedition.html
මේ දරුවා සිටින්නේ මස්කෙළිය ප්‍රදේශයේ ඉතා දුෂ්කර වතුයායක. Mocha Estate නමින් හැඳින්වෙන එය මස්කෙළියේ සිට කිලෝමීටර් නවයක් පමණ ඈතින් මාඋස්සාකැලේ ජලාශයේ ඉහළ පිහිටා තියෙනවා. රෝද පුටුව මිලදී ගත් සමාගම එය හැටන් දුම්රිය ස්ථානය තෙක් ප්‍රවාහනය කර දුන් නිසා මට තිබුණේ හැටන් සිට එය මොකා වත්තට රැගෙන යාමයි. එය කිලෝමීටර් 38 ක පමණ ගමනක්.
වෙනදා සුපුරුදු රාත්‍රී තැපැල් දුම්රිය මෙවර වෙන්කර ගත හැකි වුණේ නැත්තේ පසුදා පෝය දිනය වීම නිසායි. එබැවින සවස තුනට පමණ කොළඹ මධ්‍යම බස් නැවතුම් පොළෙන් බස් රියක නැගුණු මම හැටන් බලා පිටත් වුණා. ඒ බස්රථ ගමන අමතක නොවන එකක් බවට පත්වුණේ එහි වටේම දමා තිබුණු එල්ඊඩී ස්ට්‍රිප් ලයිට්ස්, මහ විශාල රූපවාහිනී තිරයෙන් වෑහුණු කුණු රහ ගීත හා අසංවර රියදුරාගේ මහහඬ නංවන මියුසික් නලාව නිසායි. සේනානායක වේරලියද්ද බොඩි ෆිට් රතු ටීෂර්ට් එකක් ඇඳ ජොල් බඩ හොල්ලමින් විවෘත දුම්රිය මැදිරියක නැගී "පුක තද කරං - මහමෙර තරං" කියද්දි මට වමනය නෑවිත් බේරුණේ යන්තමින්. පැය පහක පමණ භයංකර ගමනක් අවසානයේ මං රෑ අටට පමණ හැටන් වලින් බැස ගත්තේ පූර්ණ මාඤ්ඤමිකතාවයට (Total eccentricity) පත්වෙලයි. එදින හැටන් නගරයේ පුංචි නවාතැනක රාත්‍රිය ගත කළ මං පහුවදා උදේම රෝදපුටුවත් අරං මොකාවත්තට පිටත් වුණා.
මා උස්සාකැලේ ජලාශය
මොකා වත්ත බෝම සුන්දර වතු යායක්... නමුත් මේ සුන්දරත්වය යට හැංගුණු කඳුළු කතා නම් බෝමයි.
කිරිසිනා
අතිශය දුෂ්කර ජීවිත ගෙවන වතු කම්කරුවකුගේ පුත්‍රයෙක් වන මේ ආබාධිත දරුවා රෝදපුටුවෙන් එහාමෙහා යමින් සිනා සලද්දී මෙතෙක් මා ඒ වෙනුවෙන් ලද වෙහෙස හිරු දුටු පිණි සේ වියැකී ගියා. මා සමග ගමනට සහභාගි වුණු, දැඩි සිත් ඇත්තන් ලෙස ප්‍රකට විශේෂ බලකා නිලධාරීනුත් රහසින් කඳුළු පිසදමනු මා බලා සිටියා. 
හුදෙකලා සංචාරකයා
ඉන් පසු විශේෂ බලකා නිලධාරීන්ට සමුදුන් මම හුදෙකලා සංචාරය ඇරඹුවා.
මම මුලින්ම නැරඹුවේ මොකා වත්තට ඉහළින් ඇති මොකා ඇල්ල ලෙස හැඳින්වෙන මේ සුන්දර ඇල්ලයි.
බැලූ බැල්මට අඩි දෙසියයකට ආසන්න උසක් පෙන්නුම් කරන එය මොකාවත්ත වාසීන්ට පානීය ජලය සපයන එකම ප්‍රභවයයි.
ඉන්පසුව මාඋස්සාකැලේ හන්දියෙන් ත්‍රිරෝද රථයක නැගුණු මම ඇබර්ඩීන් ඇලි සොයා ගියා. මේ මාර්ගය දිව යන්නේ සප්තකන්‍යා කඳුපාමුලින්.
කලවැල්දෙණිය ගම්මානයට ආසන්න වන විට ඇබර්ඩීන් දියඇල්ල වෙත පිවිසෙන පඩිපෙළ දක්නට ලැබෙනවා. ඊට මදක් ඉහළට ගමන් කළ විට ඇබර්ඩීන් ඇල්ල ඉහළ පිහිටි තවත් ඉතා සුන්දර ඇලි කිහිපයක් දකින්නට පුළුවනි.
ඇබර්ඩීන් ඇල්ලේ මුදුන
ඇබර්ඩීන් ඇල්ල මුදුනේ සිට මදක් ඉහළට ගමන් කිරීමෙන් මේ සොඳුරු ඇලි දැක ගන්නට පුළුවන්.
ඉහළ ඇබර්ඩීන් ඇල්ල අංක 01
මේ දියඇල්ල පාමුල ඇති තටාකය ඉතාම සුන්දර එකක්. එමෙන්ම ආරක්ෂාකාරීව දිය නෑමට සුදුසු බවත් පැහැදිලිව පෙනුනා. දිය නෑමේ සූදානමකින් නොපැමිණියත් මේ සුන්දර ජලාශය මගහැර යාම කිසිසේත් කළ හැක්කක් නොවුණ නිසාත්, කිසිම මිනිස් ප්‍රාණියෙක් නොගැවසෙන අතිශය හුදෙකලා පෙදෙසක් වීම නිසාත් මෙහි ස්කිනී ඩිපිං කරන්නට මං තීරණය කළා.
තටාකය
මෙවන් සුන්දර හුදෙකලා පරිසරයක, දියදහරාවල සිලිසිලියත්, කුරුලු කූජනයත් විඳිමින්, පූර්ණ නිර්වස්ත්‍රව ගෙලවටක් දියේ බැස සිටීම කොයිතරම් මිහිරි අත්දැකීමක්දැයි එය විඳ නැත්තෙකුට තේරුම් කිරීම පහසු නැහැ.
බිම වැඩියා වූ උඩවැඩියා
පරිස්සමෙන් වටාපිටාව නිරීක්ෂණය කිරීමෙන් මේ වගේ සුන්දර වනමල් රාශියක් දක්නට පුළුවන් වෙනවා.
වනමල්
වනමල්
එම දිය ඇල්ල අසළින් හෙමිහිට පරිස්සමෙන් උඩට නැගීමෙන් තවත් ඉතා සුන්දර කුඩා දියඇල්ලක් සමීපයට එන්නට පුළුවන්. 
ඉහළ ඇබර්ඩීන් ඇල්ල අංක 02
හැඩයෙන් තරමක් පහන්තුඩාව ඇල්ලට සමීප මේ පුංචි ඇල්ල පාමුල තටාකය නම් ගැඹුරු බව පෙනුනා. ඉන්පසු නැවත ප්‍රධාන පාරට පිවිසි මම ප්‍රධාන ඇබර්ඩීන් දියඇල්ල සොයා ගියා.
ඇබර්ඩීන් ඇල්ල
කෙහෙල්ගමු ඔයේ නිර්මාණයක් වන ඇබර්ඩීන් ඇල්ල අතිශය සුන්දර දිය ඇල්ලක්. එහි පාමුල තටාකය නම් ගැඹුරු බව නොකියාම බැහැ. 
පාමුල තටාකය - Base Pool
ආරක්ෂාකාරීව දියඇල්ල නැරඹීම සඳහා නැරඹුම් පීඨිකාවක් අඹගමුව ප්‍රාදේශිය සභාව මගින් සකසා තිබෙනවා. එහි සිට ඇල්ල නැරඹීම ඉතාම ආරක්ෂාකාරීයි.
හුදෙකලා සංචාරකයාගේ තවත් දියඇලි දඩයමක් අවසන් වුණේ එහෙමයි. ඉතා වෙහෙසකාරී දිනයක් වුණත් ආත්ම තෘප්තිය අතින් ඉහළ සංචාරයක් ලෙස එය මගේ මතක පොතට එකතු වුණා.


22 comments:

  1. මං දෙපාරක් ඇබර්ඩීන් බලන්න ගියත් ඔය අංක 1 හා 2 ගැන දැනගත්තේ පසුව නිසා ඒවා බලන්න බැරි උනා. ඇබර්ඩීන් බලන්න යනකොට ලොකු එකාට අවුරුද්දයි. ඒකව වඩාගෙන ඉහල පහල ගියපු එකත් පට්ට එක්සයිස් එක. ඊට පස්සේ යනකොට පොඩි එකාට අවුරුද්දයි. ඒ පාරත් මරු එක්සයිස් එක. ඇබර්ඩීන් පිවිසිම ආසන්නයේ පාර දෙපැත්තෙත් ලස්සන කැලෑ මල් තිබුනා. මං යන්තං එකක් දෙකක් බලාගත්තා. හරියට බලාගන්න විදියක් තිබ්බෙම නෑ. හැක්.

    කෝම උනත් උඹ හරිම අවංක වාසනාවන්ත කොල්ලෙක්. උඹට ජය වේවා. මොකා ඇල්ල ගැන අද තමා දන්නේ ඩෝ.

    ReplyDelete
    Replies
    1. හැක්... තනියම ගියත් ඔය වටේ පිටේ එක මලක්වත් දැක්කෙ නෑ කියාංකො... සැක්
      අම්මෝ බං අර පඩිපෙළේ පොඩි එකා උස්සං ගියේ කොහොමද? මං තනියම ගිහිල්ලත් උඩට එද්දි දිව දොට්ට පැනලා හිටියෙ
      ස්තූතියි සහෝදරයා

      Delete
    2. වයිප් හිතන් උන්නේ මං යකඩ වලින් හදල කියල නේ බං. අවුලක් නෑ. හැක්

      Delete
    3. @දේශකයා,
      තවුසෙ ඊගාව පාර යන්න ඉස්සර තව එකෙක් හදාගන්නව හිටගෙන.

      Delete
    4. හත්වලාමයි මට එක අමතක උනා. දැං කාලේ හරි ඇබර්ඩීන් යන්න. හැක්

      Delete
  2. අගේ ඇති වැඩක් වගේම අගේ ඇති සංචාරයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සබාපතිතුමා

      Delete
  3. තවුසෙට මේ දෙවෙනි පාර කියන්නෙ. අර ස්කිනී ඩිපිං කරන ගමං ගහපු පින්තූරත් දානව වහාම.

    ReplyDelete
  4. ලස්සන සටහනක්. පින්තූර හරිම පැහැදිලියි .

    ReplyDelete
  5. පින්තූර ටික දැක්කත් ඇති...ගියාවගේ ........තව එකක්...පරිසරේට ආදරේ කරන සහ හිත හොඳ මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑ

    ReplyDelete
  6. පින් ඇති වැඩකට පරණ පවක් කර ගහගෙන ගිහින්.
    එතන සිට ගමන සුන්දරයි. තනියම ගිහින් ලස්සණ පරිසරයේ නාන්න ගිය එකත් භයානකයි. හැබැයි පරිසරය හරීඊඊම චමත්කාර ජනකයි.
    හුදෙකලා නම් අන්තිම ෆොටෝ එක ගත්තේ කවුද 😛

    ReplyDelete
    Replies
    1. අපොයි ඒක නම් පරණ පවක්ම තමා
      අන්තිම පින්තූරෙ ට්‍රයිපොඩ් කරල ගත්තෙ

      Delete
  7. මරු වැඩක්..හිතට තදින් දැනුනා..අර සේනානායක වේරලියද්දගේ සින්දුවෙ ඉතුරු lyrics ටිකත් upload කරන ලෙස ඉල්ලා සිටිමි..අර පොඩි ළමයා කොච්චර දුකින් ඉන්න ඇතිද කියලා හොදින් තේරුම් ගන්න පුලුවන්.because මමත් ළමයෙක් නිසා..good luck..keep it on..

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි පුතේ... ඒ දරුවට වයස දහයක් විතර ඇති... වේරලියද්දගෙ සින්දුව මතක් කරන්න එපා...

      Delete
  8. ඒ ළමයට වයස කීයක් ද??

    ReplyDelete
  9. මේ සැරේ නම් ඩිල්ෂාන් වන මල්වල අසිරිය විදලා තියනවා. දිය ඇලි වල පින්තූර ටික නම් ගොඩක් ලස්සනයි. මේ හැම සංචාරයක්ම ඩිල්ෂාන් තනියම යන නිසා තමන්ගේ ආරක්ෂාව ගැන ගොඩාක් හිතන්න වෙනවා නේද? අහිංසක දරුවෙක්ගේ හිතට ඔබ ලබාදීපු සතුටට ඔබට ගොඩාක් පිං ලැබෙන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රතිචාරයට... ඇත්තටම වනමල් සෑහෙන ප්‍රමාණයක් දුටුවා මේ පාර ගමනේදී... කුරුල්ලොත් සෑහෙන්න හිටියත් මගේ අතේ ඒකට ගැළපෙන ලෙන්ස් එකක් තිබුණෙ නෑ...
      තනියම ගමන් යද්දි බොහොම පරිස්සම් වෙන්න ඕන...

      Delete