Thursday, February 12, 2015

වල් අලි, හීලෑ අලි සහ හොර අලි


මෙතක් කල් ලංකාවේ හිටියේ අලි වර්ග දෙකකි. එනම්, වන (වල්) අලි සහ හීලෑ අලි වශයෙනි. නමුත් මෑතක සිට මේ අලි වර්ග දෙකට අමතරව 'හොර අලි' නම් වර්ගයක් ගැනද ජනමාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබෙන්නේය. මුන් ඉන්නේද එසේ මෙසේ තැන් වල නොවේය. එක්කෝ දේශපාලුවන් ළඟය. නැත්නම් දේශපාලන හයි හත්තිය ඇති හොඳ දළ කාරයන් ළඟය. එසේත් නැත්නම් පන්සල් වලය. නිකම් ආවාට ගියාට පන්සල්වලත් නොවේය. රට ප්‍රකට යතිවරු වැඩසිටින ටොප් ක්ලාස් පන්සල් වලය.
ආසන්නතතම සිද්ධිය වාර්තා වන්නේ රටේ නමගිය යතිවරයාණන් වහන්සේ නමක් වන 'උඩුවේ ධම්මාලෝක' හිමියන් වැඩ සිටින ඇලන් මැතිනියාරමයෙනි.

මෙහි සිට සොයාගනු ලබන අලි පැටියාගේ වයස අවුරුදු දෙකහමාරකි. මේ තරම් කුඩා අලි පැටියෙකු විහාරයට ලැබෙන්නට ඇත්තේ එකම ක්‍රමයකි. එනම් කැලයේ සිටින මව් ඇතින්න මරා දමා හෝ වෙන යම් ක්‍රමයකින් පැටියා සොරකම් කිරීමෙනි. බොහෝ විට වෙන්නට ඇත්තේ මා මුලින් සඳහන් කල දේය. මන්ද, ඉතා බුද්ධිමත් හා විශාල සමාජානුයෝජනයක් සහිත සත්ත්වයෙකු වන අලියා කිසිවිටෙක තම පැටියා හැර නොයන බැවිනි. වනෝද්‍යාන වල පාරිසරික සංචාර වල යෙදෙන සංචාරකයන් මේ පිළිබඳව සාක්ෂි දරනවා ඇත. පැටියෙකු සිටින රංචුවක් වෙතට සෆාරි ජීප් රථයක් ළං වෙන ඕනෑම අවස්ථාවක මුළු රංචුවම එක් වී පැටියා ආවරණය කර ගනිති. එබැවින් කැලයකින් අලි පැටවකු සොරකම් කිරීම ලෙහෙසි නැත. ඒ හැර මෙතරම් කුඩා අලි පැටවකු ගෘහාශ්‍රිතව සිටින්නට වෙනත් කිසිදු ක්‍රමයක් නැත. ලංකාවේ සිටින හීලෑ අලින්ගෙන් පැටවුන් බෝ කිරීමක් සිදු නොවන තරම්ය. යම් හෙයකින් හීලෑ ඇතින්නක් ගැබ් ගත්තේ නම් ඒ පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කල යුතුය. අලුත උපන් අලි පැටවාට නිත්‍යානුකුල බලපත්‍රය සකස් කරන්නේ එවිටය. ධම්මාලෝක හිමියන්ගේ අලි පැටියා ගැන මේ වාර්තා කිසිවක් නැත. උන් වහන්සේ කියන්නේ (හුටා.. වැරදුනා- දෙසා වදාරන්නේ) මේ අලි පැටියා තමන්ගේ දායකයෙකුගෙන් ලැබුණු බවය. අලි පැටවුන් වදන්නට පුළුවන් දායකයන් සිටීම සුළුපටු වාසනාවක් නොවේය. මේ ඉතා හුරතල් අලි පැටවා රැගෙන යාම නිසා තමන් වහන්සේත් තම දායකයිනුත් ඉතා කම්පාවට පත්ව සිටින බවද උන්වහන්සේ දෙසා වදාරන සේක. එතකොට මව් ඇතින්නගෙන් දරුවා උදුරාගෙන එනකොට ඒ ඇතින්නටත් අලි රැලේ සෙසු සාමාජිකයන්ටත් දැනෙන්නට ඇත්තේ කම්පාවක් නොවන්නට පුළුවන. ඇතැම් විට පට්ටම ආතල් එකක් වෙන්නටත් බැරි නැත.  
අපට ඇති ලොකුම කණගාටුව වන්නේ මේ සියලු විගඩම් සිද්ද වෙන්නේ 'බෞද්ධ' ලේබලයට මුවා වී වීම නිසාය. ලෝකයේ මෙතෙක් පහළ වූ ඉතාම ප්‍රායෝගික අවිහිංසාවාදී දර්ශනය වන්නේ බෞද්ධ දර්ශනය බව අවිවාදිතය. එකල්හි අලි ඇතුන් යොදා ගත්තේ ප්‍රායෝගික ප්‍රවාහන දුෂ්කරතා විසඳා ගැනීමේ මාර්ගයක් වශයෙනි. ඒ හැර සෝබනේට අලි ඇතුන් පන්සල්වල ගැට ගහගෙන සිටීමක් සිදු නොවීය.
පෙරහැර කිරීම සඳහා අලි ඇතුන් අවශ්‍ය බවත්, එය සිංහල බෞද්ධ සංස්කෘතිය බවත් මේ උන්නැහේලාගේ තර්කයයි. 'සිංහල' කෙසේ වෙතත් කැලයේ සිටින අහිංසක පැටවුන් මව් මරා සොරකම් කරගෙන ඒම 'බෞද්ධ' සංස්කෘතිය අනුගත වන්නේ කෙසේදැයි මට තේරෙන්නේ නැත.

මීට වසර කීපයකට පෙර බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ සිදු වූ අකටයුත්තක් ද මාධ්‍ය හරහා හෙළිදරව් විය. පින්නවල අලි අනාථාගාරයෙන් ලබා ගත් (බලෙන්) කිරිබොන වයසේ ඇත් පැටවුන් දෙදෙනෙක්  දියවඩන නිලමේ වරයාගේ නිල නිවාස පරිශ්‍රයේ ගැටගසා පහරදෙන අයුරු ඡායාරූප සහිතව රිවිර ඉරිදා සංග්‍රහය හා 'තම්බපන්නි' සඟරාව වාර්තා කළේය. එසේම දිවා කාලයේ පෙරහැර වලට යොදා ගන්නා අලි ඇතුන් විඳින දුක අප බොහෝ දෙන දෑසින් දැක ඇත්තෙමු. අලින් සාමාන්‍යයෙන් ආහාර සොයා සංචාරයේ යෙදෙන්නේ සවස් වරුවේ සහ රාත්‍රී කාලයේය. ඒ දිවා අව් රශ්මිය උන්ට දරාගන්නට අසීරු නිසාය. දිවා කාලය උන් ගත කරන්නේ බොහෝ විට රුක් සෙවණක විවේකීවය. නමුත් පෙරහැරේ යන අලින්ට සිද්ද වෙන්නේ උඩිනුත් යටිනුත් දෙකෙන්ම රත් වී ඇති ගිනිගහන තාර පාරේ කකුලුත් ගැටගසා ගෙන ඒ මදිවාට ඇඟ පුරාම රෙදිත් එල්ලා ගෙන ගමන් කරන්නටය. 
අලියාගේ දේහ උෂ්ණත්ව යාමනය සඳහා උගේ කන් වලින් විශාල කාර්ය භාරයක් ඉටුවේ. ඒවා පුරාම සිහින් රුධිර නාල විසිරී ඇති අතර සිරුරේ අධික උෂ්ණත්වය නිතර කන් සැලීම මගින් සමනය වේ. නමුත් අලින්ට ඇඳුම් අන්දන විට මේවා වැසී යන බැවින් ඌ පත් වන්නේ මහත් අසීරු තත්ත්වයකටය. උඩින් යටින් හා හතරවටින්ම තැම්බෙමින් හරියට අඩිය තියාගන්නට බැරිව උඩපනිමින් පෙරහැරේ යන අලින් දකින අපි ඌ මහත් ශ්‍රද්ධාවෙන් බෙරපද තාලයට නටමින් යන්නේ යයි හුරේ දමන්නෙමු.
අවසාන වශයෙන් මේ ගැටලුව සම්බන්ධයෙන් මල්වතු මහනායක හිමියන් පැවසූ අදහසක් පවසමි. උන්වහන්සේ පවසන්නේ අලි ඇතුන් ගැන කතාකරන උදවිය දිනපතා මරාදමන කුකුලන්, ඌරන්, එළුවන් ගැන කතා නොකරන බවය. බුද්ධාගමේ නාමයෙන් එළුවන් කුකුළන් මරාදමන තැනක් ගැන මා නම් අසා නැත.

7 comments:

  1. උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ට අනුව අලි පැටවුන් හොරකම් කිලිමෙන් දෙවෙනි ශික්ෂා පදයට හානි සිදුවිමක් හෝ අලි පැටවුන් ලබාගැනීම සඳහා මවු ඇතින්න මරා දැමීමෙන් පලමුවෙනි ශික්ෂා පදය කැඩීමක් සිදු වෙන්නේ නැතිව ඇති..

    ඔන්න අහනවනම් උඩුවේ බණ..

    ආ.. ඒ විතරක් යෑ.. හැම කාලකන්නි දේශපාලුවෙකුටම පිරිත් නුල් බඳින මහානායක හාමුදුරුවන්ට අනුවත් අලි මරණ එක කම නැහැ වගේ...


    ඔන්න ඕක තමා තුන්කල් දක්නා නුවනින් යුක්ත සම්මා සම්බුදු රජාණන් වහන්සේ එදා මෙලෙස දේශණා කලේ
    "මහාණෙනි, යම් යකඩයක හටගන්නා මළ විසින්ම එම යකඩය විනාශකරන්නා සේ, අනාගතයේදී මේ බුද්ධ ශාසනය තුලම පහල වන දුශ්ෂිල භික්ෂුන් විසින්ම මේ සාසනය විනාස කරනු ඇත"

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. කණගාටුවට කාරණය මේ ගොල්ලො මේවා සාධාරණීකරණය කරන ආකාරය. උඩුවෙ හාමුදුරුවො විතරක් නෙවෙයි. පන්නිපිටියෙ දෙව්රම් වෙහෙරෙ සුමංගල හාමුදුරුවො ගාවත් 'හොර අලි' ඉන්නවා.

      Delete
  2. මේ රටේ ඉන්න වලව් අැරියස් තියෙන අැමතිලාගෙන් අලි පරිස්සම් කර ගැනීම මහා අමාරු කාර්යයක් වගේ.......

    ReplyDelete
    Replies
    1. නායක හාමුදුරුගොල්ලත් මේව සාධාරණීකරණය කරන ‍එකනෙ කුරුටු ඉවසන්න බැරි

      Delete
  3. පෙරහැරේ යන අලියා විදින දුක මමත් කාලයකට කලින් අකරු කලා...

    ReplyDelete