Friday, February 1, 2013

යතුරුපැදි චාරිකා: නුවරඑළිය - අංක 2


ගියවර මම සටහන අවසාන කලේ නොර්ටන් බ්‍රිජ් නගරයෙන්. ඒ සටහන් කියවන්න බැරි වුණා නම් මෙතනින් ගිහින් ඒක බලලා එන්න.
නොර්ටන් බ්‍රිජ්හි සුප්‍රකට මං සලකුණ - සප්ත කන්‍යා කඳුවැටියේ හැපී විනාශ වුණු මාර්ටින් එයාර් ගුවන් යානයේ ටයරය 
නොර්ටන් බ්‍රිජ් නගරයේ මදක් නතර වුණු අපි අසල තිබුණු තේ කඩයකට ගොඩ වුණේ ඒ වන විට අපට තරමක් වෙහෙස දැනුණ නිසාවෙන්. අතින් කටින් බඩු එල්ලගෙන, කන්නාඩි, ජැකට් දාගෙන අඟහරු ලෝකෙන් ආපු අමුතු ජීවීන් දෙන්නෙක් වගේ අපි දෙන්නව කඩේ හිටපු උදවියට පේන්න ඇති. ඔයගොල්ලෝ කොහේ ඉඳන්ද? කියලා අහපු වයසක මනුස්සයෙකුට "හික්කඩුවේ ඉඳන්" කියලා මම උත්තර දුන්නම ඒ මනුස්සයාගේ ඇස් දෙක නළලට ගියා. 
උණුසුම් තේ කෝප්පයකින් සප්පායම් වූ අපි නැවත ගමන් අරඹා හැටන් නගරයට පිවිසුණා. හැටන් නුවරඑළිය මාර්ගය ඒ වන විට පිළිසකර කෙරෙමින් පැවතුණ නිසා අවට පැවතුණේ අධික දුහුවිල්ලක්. මෙසේ මද දුරක් පැමිණි අපි ශ්‍රී ලංකාවේ පිහිටි අතිශය සොඳුරු දිය ඇල්ලක් වන "ඩෙවොන් ඇල්ල" සමීපයට එළඹියා. 
ඩෙවොන් ඇල්ල
 මහා මාර්ගයේ සිට හොඳින් නැරඹිය හැකි මේ දිය ඇල්ල උසින් අඩි 281ක්.
ඩෙවොන් ඇල්ල වඩා සමීපව
ඩෙවොන් ඇල්ල පසුකර මීටර කිහිපයක් ඉදිරියට ගමන් කරන විට "ලංකාවේ නයගරාව" යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන "ශාන්ත ක්ලෙයාර්" දිය ඇල්ල මුණ ගැහෙනවා.  
"ශාන්ත ක්ලෙයාර්" දිය ඇල්ල
ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය නිසා දැන් නම් මේ ඇල්ල මෙතරම් සුන්දරව දකින්නට ලැබෙන්නේ නෑ.
"ශාන්ත ක්ලෙයාර්" දිය ඇල්ල සහ පහත නිම්නය
මේ තියෙන්නේ එන අතරමග දැකපු තවත් කුඩා දියපහරක්. මේක ඇත්තටම දිය ඇල්ලක් නෙවෙයි. මේ දියපහරට ඉහළින් ඇති මාර්ගය හරහා දාපු බටයක් තුළින් තමයි මේ දියපහර මතුවෙන්නේ. ඒ නිසා මම ඒකට නම දැම්මා "බට ඇල්ල" කියලා..... 
"බට ඇල්ල"
මේ විදිහට පරිසරයේ සුන්දරත්වය උපරිමයෙන් විඳිමින් අපි නුවරඑළිය නගරයට ළඟා වුණා. අපේ නවාතැන්පොළ වුණේ රජයේ සංචාරක බංගලාව. දුප්පත් රාජ්‍ය සේවකයන් වන අපිට ඒකෙ තියෙන පහසුකම් ඉහටත් උඩින්.
මේ තියෙන්නේ නුවරඑළියේ රජයේ සංචාරක බංගලාව
එදා හවස අපි ගත කලේ ග්‍රෙගරි වැව් ඉවුරේ ඇවිදිමින් සහ බයිසිකල් පදිමින්. මේ තියෙන්නේ ග්‍රෙගරි වැව් ඉස්මත්තේ සොඳුරු දසුන් කීපයක්. 
ග්‍රෙගරි වැව
ග්‍රෙගරි වැව
ග්‍රෙගරි වැවට ඉහළින් හිරු බැසයන අයුරු...
හෝටන් තැන්නේ හා අඹේවෙල තොරතුරු ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙන්න.
තවත් අපූරු බයිසිකල් චාරිකාවක විස්තර මෙතනින් බලන්න. http://ekicks.blogspot.com/2013/02/01.html

20 comments:

  1. සුන්දර චාරිකා අත්දැකීමක් !

    ඉස්සරනම් මමත් මේ වගේ ගමන් ගියා......
    ඒත් ඉතිං දැන් එහෙම බෑ නොවැ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. මටත් දැන් ඉස්සර වගේ හිතු මනාපෙට මේ වගේ ගමන් යන්න බෑ.

      Delete
  2. අපිත් ළගදි නුවරඑළි ගියා රාජකාරි වැඩකට.. හැටන් නුවරඑළි පාරෙ ඔය දිය ඇලි ටිකත් බලාගෙන. නැවතුණෙත් ඔය රාජ්ය පරිපාලන සංචාරක බංගලාවෙ පහළ කොටසෙ දවස් දෙකයි. පරණම බංගලාවෙ එක දවසයි. අපූරු තැන. සංග්රාහ සත්කාරත් හොදයි.

    ReplyDelete
    Replies
    1. අපි හිටියේ පරිපාලන බංගලාවේ අලුත් එකේ උඩ කොටසේ. බොහොම අඩු මුදලකට සුපිරි සත්කාරක සේවාවක් අපි අත් වින්දා.

      Delete
  3. ඇවිද ඇවිද ඉඳලාම හරියන්නෙ නෑ මලේ, මහන්සිවෙලා දරු පැටියෙකුත් හදා ගනිල්ලා ...!

    ReplyDelete
    Replies
    1. මේ වගේ ට්‍රිප් ආයේ යන්න හම්බවෙන්නේ නෑ අයියේ... මේක මේ අවුරුදු එකහමාරකට විතර කලින් ගිය එකක්. දැන් යනවා නම් මාස හයක කොලු පැටියෙකුත් එල්ලගෙනයි යන්න වෙන්නේ.

      Delete
  4. හැමදාම වගේ ලස්සනට ලියල තියනවා. NE වල බයිසිකල් රෙන්ට් කරන්න තියෙන්නේ කොහෙද? දවසකට කියක් විතර වෙනවද? (පොඩි ස්කුටර් වගේ බයිකුත් තියද?)

    ReplyDelete
    Replies
    1. නුවරඑළියේ බයික් රෙන්ට් එකට දෙන තැන් තියන බව අහලා තියෙනවා. ඒත් ඒගැන වැඩි විස්තරයක් දන්නේ නෑ. ග්‍රෙගරි වැව ළඟ නම් ෆුට් සයිකල් රෙන්ට් එකට ගන්න පුළුවන්. හැබැයි පදින්න දෙන්නේ වැව රවුමේ විතරයි.

      Delete
  5. ඒ පැත්තේ අනිවාර්යයෙන්ම එනවා මල්ලියෝ. උඹේ බ්ලොග් එක එළ.

    ReplyDelete
  6. බයික් වල යන්න අපටත් එකතු‍ වෙන්න පුලුවන්ද? ගොඩක් ලස්සන චාරිකාවක්. තව තව යන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි. දැන් නම් හැබැයි කාලෙකට මේ වගේ ට්‍රිප් එකක් යන්න බැරි වෙයි.

      Delete
  7. මමත් ආසාවෙන් හිටියෙ බයිසිකලෙන් ටිකක් දුර කොහේ හරි යන්න... ඉතින් මමත් මගේ බිරිඳත් මීට දවස් දෙකකට කලින් ගියා මෝටබයිසිකලෙන් නුවරඑළිය, ඔහිය ඔස්සේ හෝර්ටන් තැන්නට... ඒ ගමන ටිකක් වෙහෙසකාරී වුණත් කියන්න බැරි තරම් සුන්දරයි... බයිසිකලේක යන එක ටිකක් අවදානම් වුණත් ඒ පරිසරයෙ තියෙන සුන්දරත්වය දැක්කහම හැම දෙයක්ම අමතක වෙලා යනවා... ඔයාගේ ගමන ගැන ඉතිරි ටිකත් ඉක්මණින්ම දාන්න... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝෂයි හඳුනා ගන්න ලැබීම ගැන. ඔයාගේ අත්දැකීමත් ලියනවා නම් හොඳයි. ඇත්තටම බයිසිකලේ යන එක ටිකක් අවදානම් වැඩක් තමයි. මේ ගමනේත් නොහික්මුණු රියදුරන් නිසා අපි දෙන්න අනූනවයෙන් ජීවිත ගලවා ගත්තු අවස්ථාවන් දෙකක් එළඹුණා. එකක් කිතුල්ගලදී, අනික ගෙවල් කිට්ටුවටම ඇවිත්. ඒ කොහොම වුණත් පරිසරයේ සුන්දරත්වය් විඳිමින් යන ගමනකට බයිසිකලේ තරම් ගැළපෙන වෙනත් වාහනයක් නෑ. පරිස්සමෙන් පදින්න. ජයවේවා!

      Delete
  8. ඒ ගැන නම් කියල වැඩක් නෑ... අපිත් අනූනවයෙන් ජීවිතේ ගලවගත්තා තැන් දෙකක දී... එකක් පැල්මඩුල්ලෙ දී... අනෙක් හපුතලේ දී... ඒ වෙලාවෙදි නම් බය නොහිතුනා නෙමෙයි. ඒත් ඔයා කිව්ව වගේ පරිසරයේ සුන්දරත්වය විඳිමින් යන ගමනකට බයිසිකලේ තමයි ගැළපෙනම වාහනය...

    ReplyDelete
  9. ග්‍රෙගරි වැවේ පලවෙනි ෆොටෝ එකට මම ඉතාම කැමතියි මලයයෝ.

    මමත් කාලයක් ඩෙවොන් ඇල්ල අසල ජිවත් උනා. මම ඉතාම ප්‍රියකරන ඇල්ල තමයි සෙන්ට් ක්ලෙයාර්.

    ReplyDelete
    Replies
    1. සෙන්ට් ක්ලෙයාර් ඇල්ල දැන් නම් ඒතරම් සුන්දර නෑ අයියේ. ඒකට දැන් ජලය නිකුත් කරන්නේ පැය බාගෙන් බාගෙට.

      Delete
  10. "බට ඇල්ල" එකත් ලස්සනයි.. :)

    //සෙන්ට් ක්ලෙයාර් ඇල්ල දැන් නම් ඒතරම් සුන්දර නෑ අයියේ. ඒකට දැන් ජලය නිකුත් කරන්නේ පැය බාගෙන් බාගෙට.// ඒක සලාක ඇල්ලක් වෙලා එතකොට.. :(

    ReplyDelete
    Replies
    1. "බට ඇල්ල" මගේ නමක්. තිරසාර නොවන සංවර්ධනය නිසා තව කොයිතරම් දේවල් අපිට වෙයිද කියන්න බෑ.

      Delete