Friday, June 23, 2017

The Motorcycle Diaries - Sinharaja Visit - සිංහරාජයේ විස්මයන් සොයා ගිය යතුරුපැදි චාරිකාව



යතුරුපැදි චාරිකා සටහන් පෙළක් මා පසුගිය කාලයේ ඉදිරිපත් කළා ඔබට මතක ඇති. මෙතනින් ඒවා නැවත බලන්නටත් ඔබට පුළුවන්

මෙවර යතුරුපැදි චාරිකාව හැමදාමත් මා වශීකළ මිහිබට පාරාදීසය වන සිංහරාජය වෙතට. සිංහරාජය ගැනත් මීට පෙර මා ලියා ඇති සටහන් ඔබට මෙතනින් කියවන්නට පුළුවනි.

මෙදා චාරිකාව ඉතාමත් හදිසියෙන් සූදානම් කර ගත් එකක්. අපි මුලින්ම සූදානම් වුණේ කන්නෙලියේ කබ්බලේ කන්ද තරණය කරන්නට. නමුත් හික්කඩුවෙන් පිටත් වෙද්දීම උදේ නවය පසුවී තිබුණ නිසා සැලසුම් වෙනස් වුණා. 
මගේ යතුරුපැදියේ නැගුණු මමත් මගේ ගමන් සගයා චතුරත් නෙළුව හරහා ලංකාගමට ඇතුළු වන විටත් සවස දෙක පසුවී තිබුණා. අතරමග ගංවතුර නිසා ඇතිවූ අනේක විනාශයන් පසු කරමින් එන්නට සිදුවීම ඛේදයක්. 
ඉතාම පටු හා දුෂ්කර මාර්ගයක් හරහා ලංකාගමට ළඟාවූ අපි අවශ්‍ය ප්‍රවේශපත්‍ර ලබාගෙන යුහුව කැලෑවට ඇතුළු වුණා. මෙතනින් එහාට මම අඩුවෙනුත් පින්තූර වැඩියෙනුත් කතා කරනවා ඇති.
බ්‍රාහ්මණ ඇල්ල
මේ ලංකාගම ප්‍රදේශයෙන් සිංහරාජයට ඇතුළුවන ඔබට මුණගැසෙන පළමුවෙනි දියඇල්ල. ලංකාගම - නෙළුව මාර්ගය ආසන්නයේම පිහිටා ඇති මෙය හැඳින්වෙන්නේ ‘බ්‍රාහ්මණ ඇල්ල' යන නමින්. මෙහි විසූ බ්‍රාහ්මණයෙක් නිසා මෙයට එම නම ලැබුණු බව පැවසෙනවා. තවත් අයෙකුගේ මතය වන්නේ මෙම දියඇල්ල බ්‍රාහ්මණයෙකුගේ සුදෝසුදු රැවුලක් මෙන් ගලා හැලෙන නිසා එම නම ලැබුණු බවයි. දෙවන මතය වඩාත් නිර්මාණාත්මක නිසා මම කැමති එය පිළිගන්නටයි.
උභයජීවීන්
වනාන්තරයේ ගමන් කිරීම සීරුවට කළ යුත්තක්. නැත්නම් ඔබට ක්ෂුද්‍ර නමුත් වටනා බොහෝ දේ මගහැරෙනවා නියතයි.
තනිව....
බ්‍රාහ්මණ ඇල්ලෙන් පසු අපි නික්ම ගියේ ඌරන් වැටුණු ඇල්ල බලන්නටයි. ඒ අතරමගදී එකවර කඩා හැලුණු මහවැස්සකට අපි ගොදුරු වුණා. කොහොමටත් වැසි වනාන්තරයක් තුළදී වැස්සකට හසුවීම අරුමයක් නොවෙයි. නමුත් ගහකොළ අතරින් පෙරී එන අවු රැල්ල අතරින් වැහි බිඳු ගලා හැලෙද්දී මැවුණු චමත්කාරය වචනයට නැගීම නම් ඉතාම අපහසුයි.
වැහැපන් මල් මල් වරුසාවේ....
මල්මොර ඇල්ල හැරුණු විට දුරින්ම පිහිටි ඇල්ල වන උෟරන් වැටුණු ඇල්ල බොහෝ දුරක් ගල්තලාව මතින් ඇදී එන අතිශය මනරම් දිය ඇල්ලක්. 
ඌරන් වැටුණු ඇල්ල
උෟරන් වැටුණු ඇල්ල අබියසදී දිවා ආහාරය ගත් අපි ඉන්පසු තවත් සුවිශේෂී ස්වභාවික පිහිටුමක් සොයා ගියා. ඌරන් වැටුණු ඇල්ලට පහළින් පිහිටි මෙය හඳුන්වන්නේ ‘ගල් ඔරුව / ගල් දොරුව ඇල්ල' නමින්.
ගල් දොරුව ඇල්ල
ඉහළ ඌරන් වැටුණු ඇල්ලේ මුළු ජලස්කන්ධයම ඉතා පටු ගල් විවරයක් ඔස්සේ අධික වේගයෙන් ගලා බැසීම මෙහි ඇති සුවිශේෂීත්වයයි. එය එක රූපරාමුවකට හසු කර ගැනීම ඉතා අසීරු කටයුත්තක්. මෙම ඇල්ල ළඟදී ඔබ ඉතා සුපරීක්ෂාකාරීව හැසිරිය යුතු බව අවධාරණයෙන් සටහන් කර තබමි.
හතු...
වනාන්තරයේ සුන්දරත්වය දෑසින් උරා බොමින් කූඩැල්ලන්ගේ අනේක අතවරයන්ට ලක්වෙමින් අපි ඊළඟ ඇල්ල සොයා ගියා. තට්ටු තුනකට ඇද හැලෙන මේ සුන්දර ඇල්ල ‘තට්ටු ඇල්ල' නමිනුයි හැඳින්වෙන්නේ.
තට්ටු ඇල්ල
තට්ටු ඇල්ලේ දියදහරින් පරිස්සමෙන් එගොඩ වූ විට මේ දිය ඇලි සංකීර්ණයේ අතිශයින්ම සුන්දර දිය ඇල්ලක් වෙත යන්නට ඔබට පුළුවනි. මේ ඇල්ල හැඳින්වෙන්නේ ‘දූවිලි ඇල්ල‘ යන නමිනුයි. 
දූවිලි ඇල්ල
හාත්පස දුහුවිල්ලක්සේ විසිරෙන පිණි පොදින් වැසී ඇති මේ ඇල්ල සිංහරාජය ආශ්‍රිතව දක්නට ලැබෙන තෙවැනි දූවිලි ඇල්ලයි. (කුඩව පිටකැලේ ගමේත්, නෙලුව කොස්මුල්ලේත් අනිත් දූවිලි ඇලි දෙක තියෙනවා)
කෙටි කාලයක් තුළ සුන්දර දියඇලි රාශියක් නැරඹීමට හොඳම ප්‍රදේශයක් ලෙස ලංකාගම නම් කළ හැකියි. එම සංවේදී පරිසර පද්ධතිය තුළ හැසිරිය යුත්තේ කෙසේදැයි පුන පුනා කීම අනවශ්‍යයි. වගකීම ඔබ සතුයි.
කැමරා උපකරණ සැපයූ ආදරණීය සජිත් මධුෂාන් අබේගුණවර්ධන සොයුරාට බොහෝම පිං

25 comments:

  1. හැන්දෘවේ දෙකට ඇතුල් වෙලා ඔය සේරම බලන්න වෙලාව ඇත්ද බං.. කරුණාකර ලංකාගමට ඇතුල් වූ මාර්ගය සැකෙවින් හෝ මැප් එකක් මගින් දන්වන්න. ඔබ ප්‍ර වේශ පත්‍ර ගත්තේ කොතනින්ද???

    ReplyDelete
    Replies
    1. වැඩි විස්තර මම උඹට මේල් එකක් දාන්නම්. දෙකට ඇතුළු වෙලා කලබලයක් නැතුව මේ සේරම බලන්න පුළුවන් වුණා මචං. මේ ටික සේරම ලඟ ලඟ තියෙන්නේ. ටිකට් ගන්න ලංකාගම එන්ට්‍රන්ස් එක ලඟම වනජීවී කාර්යාලයක් තියනවා. එතනින්ම ගයිඩ් කෙනෙකුත් දෙනවා.

      Delete
    2. @දේශකයා, උඹල වගේ හෝටල්වල නාල ජොකා මේසෙ උඩ වනලනං ඒ වෙලාවට ඕව බලන්න බැරිවෙයි. හැක්..

      Delete
    3. හපෝයි **නයා දේශකගේ ජොකා ගලවල නොවැ !

      Delete
  2. ලස්සනයි. ළඟ ඉඳල මටත් තාම සිංහරාජෙ ඇතුලෙ යන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. බෝ ගොඩකවෙල නේද? ලැජ්ජයි යකෝ...
      මේ මචං කලවාන පැත්තෙන් නෙවෙයි. නෙළුව ලංකාගම පැත්තෙන්... කලවාන පැත්තෙත් ලස්සන දියඇල්ලක් තියනවා. ඒකෙ නමත් දූවිලි ඇල්ල

      Delete
    2. අපිනං දූවිලි ඇල්ල කියල බැලුවෙ බලංගොඩ, කල්තොට තියෙන එක.

      Delete
    3. මට තාම ඒකට යන්ට බැරි වුණා කියාංකො

      Delete
    4. නයන්න මොකද කියන්නේ යමුද

      Delete
    5. අනේ නිකා හිටිං....
      කලවානෙන් සිංහරාජෙ නොගිය එකා නෙළුවෙන් යන්න එයිද?

      Delete
  3. මටත් දේශකයාගේ ප්‍රශ්නේ.. උඹල කැලේ ඇතුලේ ඇවිද්දෙත් බයික් වලද?

    බොට කියන්න.. මාත් තාම සිංහරාජේ පස් පාගලා නෑ ඕයි.. අර අලුත්ගම කඩේට නම් ගිහින් තියෙනවා සිංහරාජේ කියන.. උඩුගම පාරේ කොට්ටව යි කන්නේලියයි අයිති වෙන්නෙත් සිංහරාජේ ටමද බං.. අන්න ඒ දෙකට ගිහින් තියෙනවා..
    සේහ්, මොන ජීවිට්හද කියල හිතෙනවා බං මේවා..

    ReplyDelete
    Replies
    1. මේ ටික බලන්න ඒතරම් වෙලාවක් යන්නෙ නෑ... පැය හතරකින් විතර කවර් කෙරුවැකි. කොට්ටව, කන්නෙලිය, නාකියාදෙණිය, දෙදියගල මේ සේරම සිංහරාජෙට සම්බන්ධ වෙලා තිබිලා තියෙන්නේ. දැං ෆ්‍රැග්මන්ට් වෙලා ගිහිං.

      Delete
    2. කන්නේලිය ගැන අහපන් උඩ ඉන්න දේශකයාගෙන්.ඌට කොපි රයිට්ස් තියේ කන්නෙලියට.

      Delete
  4. තවම මමත් ගිහින් නැති ගමනක් සිංහරාජේ කියන්නේ.යන්න තියෙන ආසාව තව තව වැඩි වෙනවා මේ වගේ ලියවිලි දකිනකොට.

    ReplyDelete
    Replies
    1. ලාංකිකයෙක් ජීවිතේ කවදහරි යන්න ඕන තැන් කීපයක් තියනවා
      1. සිරීපාදෙ
      2. සිංහරාජෙ
      3. හෝටන් තැන්න

      Delete
    2. සිංහරාජෙ ගිහින් නැහැ ..
      පට්ටපල් ඇත්ත මේ තැන් තුනට නොගිය ජිවිත වෙන කොහේ ගියත් වැඩක් නැහැ

      Delete
  5. Replies
    1. යමං බොලේ...
      කලින් දවසේ ඇවිත් අපේ ගෙදර නැවතිලා උදේම යමං...

      Delete
  6. මම කියන මේ කතාව ගොං කතාවක් වගේ උඹට හිතෙයිද මන්දා. නමුත් හිතට ආපු එක ඔහේ කියලා දාන්නම්. අප්සෙට් න්බම් ඩිලීට් කරපං.

    මෝටර් සයිකල් ඩයරීස් කිව්වාම මගෙ ඔලුවට එන්නේ. අසීමිත නිදහසක්. Wind in my hair feeling එක අමතක කලොත්, ඒත් අවට දර්ශනය, යා හැකි තැන්, sense of adventure රෝද හතරකට වඩා වෙනස්.

    එතකොට මේ පින්තූර දිහා බැලුවත්, කතාව කියෙව්වත්, මෝටර් සයිකලයක් සම්බන්ධ වෙච්ච හැටි කියන්න උඹට අමතක වෙනවා.

    මාතෘකාව දැක්කම දුවගෙන එන මං වගෙ සමහර පිස්සො ටිකක් ඉච්ඡා භංගත්වයට පත්වෙනවා මෝටර් සයිකලේ ගැන සඳහන් වීම අඩු වෙනකොට.

    උඹේ දේශාඨන චාරිකා උපරිමයි. නමුත් මෝටර් සයිකලේටත් තැනක් දීපං.

    උදාහරණයක් හැටියට ඔය පසුබිමට එන්න බයික් එකෙත් පින්තූරයක් දෙකක් ගනිං.
    යද්දි විච්ච කාර්මික දෝශ, පෙට්‍රල් ගහන්න නතරකරපුවා, එහෙමත් රිංගවපං.

    මම මගෙ බයික් එකේ සයිඩ් ස්ටෑන්ඩ් එකට බ්‍රේක් ඩිස්ක් එකක් වෙල්ඩ් කලා. එහෙම කලේ The Long Way Down කියන මෝටර් සයිකල් චාරිකාව බලලා ඉගෙනගත්ත දේකින්. දැන් ලේසියකට එරෙන්නෙ නෑ වැල්ලෙ වුනත්. කැතයි නමුත් ප්‍රායෝගිකයි.

    උඹ තරහ වුනා කියලා මම හිතනවා මේකට පිළිතුරක් නැති වුනොත්

    ReplyDelete
    Replies
    1. හෙහ්... මං උඹ එක්ක තරහයි. ඒත් උත්තර ලියනවා... හැක්
      උඹ කිව්ව හරි... බයික් එකට කිසියම්ම කිසි තැනක් (උපුටා ගැනීම ශ්රංග)දීල නෑ අම්මප... අඩුම වශයෙන් ටයිටලේ ඇරුණුකොට ගමන ගියේ බයිසිකලෙ බව නිකමටවත් කියල නෑ. සම්පූර්ණ වැරදියි.
      පරණ මොටර් සයිකල් චාරිකාවත් කියවලා සමාවක් දියං අයියණ්ඩි...
      අර සයිඩ් ස්ටෑන්ඩ් එකට කර එක කැත උණත් PRACTICAL. මාත් අඩුගානෙ ග්‍රයින්ඩර් කටිං වීල් එකක් වත් හයි කර ගන්ට ඕනැ...
      පින්තූරයක් දාන්න තරං බයික් එකක් දැං නෑ බං. අර මහින්ද මහත්තයා දීපු ස්කූටර් එක විතරයි තීන්‍ෙන. ඒකත් වයිෆ්ගෙ

      Delete
    2. මාතෘකාව දැක්කම දුවගෙන එන මං වගෙ සමහර පිස්සො//
      මුගේ පොස්ට් එකක් දාපු ගමන් මමත් දුවගෙන එන්නේ පිස්සෙක් පිස්සෙක් වාගේ දැන් පොඩි මෙන්ඩ ත් ඇවිත් ඔඩොක්කුවේ ඉදගන්නවා පින්තුර බලන්න ...

      Delete
    3. සංතෝසයි.... පොඩි මෙන්ඩා පරිසර ලෝලියෙක් කරපං....
      හෙට අනිද්දා තව ගමනක් යනවා. ඒක ගිහිං ආපු හැටියේ විස්තරේ ලියන්නම්

      Delete
  7. ඔය කියන තැන් තුනටම මම ගියා. එක සැරය ගානේ.අපි සිංහරාජේ ගියේ දෙනියාය පෙත්තෙන් .එක ඇල්ලක් වත් දැක්කේ නෑනේ. පුරාණ චෛත්තයක් තිබුණා. ලස්සන උඩවැඩියා මල් තිබුණා. ලංකාගම පැත්තෙන් ගියාම ගොඩාක් දේවල් බලන්න පුළුවන් වගේ.

    ReplyDelete
  8. කන්නෙළියටයි නෙළුව තියන දූවිලි ඇල්ලටයි ගිහින් තියනවා, මේ කියන ඉසව්වටත් යන්න ඕන ඉඩ කඩ ලැබුණු වෙලාවක.

    වැඩිය ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් නැති මිනි කුපර් එකක්, මරුටි ඇල්ටෝ එකක් වගේ එකකින් මේ කියන කිට්ටුව පළාතට යන්න අමාරුකමක් තියනවද ?

    ReplyDelete